බුදු සරණ ගැන කතා කරන නිසා මේ ටිකත් කිව්වා නම් හොදයි කියලා හිතුනා.


අද බුදු සරණ ගැන කතා කරපු නිසා මේ ටිකත් කිව්වා නම් හොදයි කියලා හිතුනා.
අපිටවැරදුනේ කුඩාකාලෙදිමයි. බුද්ධං සරණං ඝච්ඡාමි කියන ගාථා පාඨය අපිට සිංහලෙන් කියලා දුනේනේ බුදු සරණ වේවා කිලා. ඇයි මම බුදුන් සරණ යමි කියලා කිව්වේ නැත්තේ. මේවා ගැඹුරින් කල්පනා කල යුතු වුවත් නොදැක්කා වගේ ඉන්න එක තමයි කරන්නට වෙලා තියෙන්නේ.
අප භාග්‍යවතුන් වහන්සේ අසරණ සරණ වන සේක. අසරණයා යනු කවුරුන්ද? උන් වහන්සේ අසරණ සරණ වූයේ කෙසේද? උන් වහන්සේ අසරණයින්ට පිහිට වූ අවස්ථා කීයක් ඔබ බුද්ධ චරිතය තුල දැක තිබේද? ඔබ දකින අසරණකම බුදුන් දුටු අසරණ කමමද? මේ ගැන ටිකක් අපේ නුවණ මෙහෙයවා බලමු.‍
සරණා ගමණං සම්පුණ්නං ….. ආමභන්තේ..
‍මේ පද පේලිය ඇහිලා ඇති නේද? සරණාගමණය සම්පූර්ණයි කියලා තමයි කියන්නේ. එතකොට බුදුන් දහම් සගුන් සරණ ගිය සිව්වනක් පිරිසෙන් එක් අයෙකුට නැත්නම් ආර්‍යයන් වහන්සේ නමකට පමණයි මේ පදයට එහෙමයි භාග්‍යවතුන් වහන්ස කියලා කියන්න පුලුවන්. අනෙක් අයට කියන්න බැහැ. තිසරණ සරන යන ආකාරය දන්නේ නැතුව අපි අද පිලිසරණ කියන වචනයට සරණ කියන වචනය ඈදගෙන තමයි ඉන්නේ. ඉතිං දෙවියන්ගේ පිහිට පතනවා වාගේම බුදුන්ගෙන්ද දැන් සරණ පතන්න පටන් අරං. ඒක දැන් ආපහු හරවන්නට වත් බැරි තරම් මුල් බැහැල තියෙන්නේ.
සරණ කියන්නේ තමන් යන ගමනක් මිස තමන්ට ලැබෙන දෙයක් නොවන බව දැන ගත යුතුය. ඇත්තටම සියළුම සත්වයන් අසරණය. ඔවුන් නිරන්තරයෙන්ම සතර අපායේ වැටීමේ මහා අවදානමක සිටී. මීට වඩා අසරණ කමක් තිබේද? බුදුන් වහන්සේ සරණ වූයේ මෙම අසරණ කමට මිස අන් ලෞකික අසරණ කමකට වන්නට නොහැකි ය.
අපි බුදුන් දැක නිවන් දකින්න යැයි කියමනක් අසා ඇත්තෙමු. ඇත්තට ම බුදුන් දකින්නේ නැති ව නිවන් දැකිය නොහැකිද? බුදුන් ගෙන් තොර නිවනක් පැවතිය නොහැකිය. අප ගෞතම බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් පරිදි නිවන් දැකිය හැකි බුදු මාර්ග තුනකි. අපි මේවාට තුන්තරා බෝධිය යැයි කියමු. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ (පසේබුදු), අරහන්ත බුද්ධ (මහ රහත් ) යන තුනයි. මේ තුන් බෝධිය ම බුදුන් ලෙස උන්වහන්සේ හඳුන්වා දුන් සේක. මේ තුනෙන් එකක් දැක නිවන් දැකිය යුතු ය. බුදුන් දැක නිවන් දැකීම යනු මෙම තුන්තරා බෝධියෙන් එකක් දැක නිවන් දැකීම යි. එය තමන් ප‍්‍රාර්ථනා කරන බෝධියට අනුව වෙයි. අප භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් හට සරණ වූයේ මේ තුන්තරා බෝධියට ල`ගා වන මාර්ගය කියා දීමෙනි. නැතහොත් බුදුන් දකින අයුරු පහදා දීමෙනි.
කෙනෙකු විශාල ප‍්‍රපාතයකට ඇද වැටෙන විට අපට කුමක් කළ හැකිද? කළ හැක්කේ එල්ලෙන්නට වැලක් දෙනඑක නොවේද? අප දකින සරණද එයමය. බුදුන් වහන්සේ විසින් අපට දේශනා කලේ වැටෙන විට අල්ලා ගැනීමට දුන් වැලක් වැනි සරණක් නොව නොවැටී සිටීමට ආධාර වන දහමකි. ඒ දහම දුටු තැනැත්තා බුදුන් සරණ ගිය අයෙකි. නැති නම් තුන්තරා බෝධියෙන් එකක් සරණ ගිය අයෙකි. බුදු සරණ ලද කෙනා නැවත සතර අපායේ වැටීමට හේතු නැත. ඒ පංච ඕරම්භාගීය සංයෝජනවලින් පළමු තුනම ප‍්‍රහානය කල නිසාවෙනි.
එසේ නම් බුදුසරණයි යන වචනය අපි දෙවිපිහිටයි කියන වචනයට වඩා එහා ගිය අරුතක් ඇති ව පාවිච්චි කළ යුතුබව වටහා ගත යුතු ය. දෙවියන් ගෙන් පිහිට ද බුදුන් ගෙන් සරණ ද අප බලාපොරොත්තු වන්නේ මේ නිසා ය. බුදු සරණ ඇති කෙනාට දෙවි පිහිට අනිවාර්ය වේ. බුදුසරණ නැති කෙනාට නම් දෙවියන්ගේ ම පිහිට යි කියා කීවාට කම් නැත මක් නිසා ද යත් ඔහු නිරන්තරයෙන් විශාල අවදානමක් ඉදිරිපිට සිටින නිසා ය. මේ සතර අපාගත වීමේ අවදානමෙන් ඔබව මුදවා ගන්නට සමත් කිසි ම දෙවි කෙනෙකු මේ වන තෙක් පහල වී නොමැති බව ද කිව යුතු ය.
ඔබ සියලු දෙනාටම බුදුන් දැක නිවන් දකින්නට වාසනාව උදාවේවා.
‍පෝෂණ වේදී…
~ ආචාර්‍ය නයන තේනුවර. ~
මෙත් සිතිනි.