අද උදුවප් පසලොස්වක පෝය දවස නිසා පොඩි බණක් කියන්න හිතුනා. මෙහි දැක්වෙන කාරණා සමග පැටලෙන්න එපා. තමන්ගේ මතයට ගැලපෙන්නේ නැත්නම් ඉවත ලන්න.

අද උදුවප් පසලොස්වක පෝය දවස නිසා පොඩි බණක් කියන්න හිතුනා. මෙහි දැක්වෙන කාරණා සමග පැටලෙන්න එපා. තමන්ගේ මතයට ගැලපෙන්නේ නැත්නම් ඉවත ලන්න. යමක් ඇතැයි කියා සිතෙනවා නම් මෙතන සිට ඉදිරියට තම ගමණ යන්නට වෙර දරන්න. කියවන සියළු දෙනා මගේ මතයේ සිටින්නට අවශ්‍ය නැහැනේ. නානත්ත කායා නානත්ථ සංඥා කියලා තමයි දහමේ තයෙන්නේ. ඒ නිසා තම තම නැණ පමණින් තේරුම් ගත යුතු දහමක් නිසා මට තේරුනු ටිකක් තමයි මෙසේ දිගහරින්නේ.

අපි අද කතාකරන්නට යන්නේ සෝවාන් වන්නට නම් අපි තුල ගොඩනැගිය යුතු කරුණු කිහිපයක් ගැන.

දවසක් බුදුන්වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා භාග්‍යවතුන් වහන්ස මේ ලෝකයේ කරන්න අමාරුම වැඩේ මොකක්ද කියලා. තතාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ ලෝකයේ තියෙන අමාරුම වැඩේ තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන එක කියලා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කල කෙනා විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දෙකෙනුත් නිරායාසයෙන්ම ඉවත් වෙනවා. මේ තුන ප්‍රහාණය කල කෙනා සෝතාපන්න වෙනවා. එසේ නම් බුසුන් වහන්සේ සෝතාපන්න වෙන එක තමයි මේ අමාරුම කටයුත්ත ලෙසට පෙන්වා දීලා තියෙන්නේ.

අපි මේ සක්කාය දිට්ඨිය කියන එක තේරුම් අරං තියෙන්නේ වැරදියටයි කියලා මට හිතෙනවා. අපි සක්කාය දිට්ඨීය කියලා දැන් අපි කියන්නේ මම මගේ කියන එකටයි. ඒක එහෙමනම් අත්ථවාද උපාදාන කියලා එකක් තියෙනවා උපාදාන වල. එහි කියන්නේ මම මගේ කියලා උපාදාන කරගෙන ඉන්නවා කියලා. මේ අත්ථවාද උපාදාන කියන එක අපේ සිතින් නැතිවෙලා යන්නේ අරහත් ඵලයේදී. එතෙක් මේ මමය මගේය කියන එක තියෙනවා. අස්මමානය නැතිවන විටයි මේ අත්තවාද උපාදාන නැතිවන්නේ. එසේ නම් මොකක්ද මේ සක්ඛාය දිට්ඨිය කියන එකේ තේරුම.

සක්කාය දිට්ඨියේ තේරුම අනිවාර්‍යයෙන් සතිපට්ඨාන සූත්‍රයේ තිබිය යුතුයි නේද? සතිපට්ඨානයේ නම් තියෙන්නේ මෙහෙම.සබ්බ කාය කියලා එකක්. සබ්බ කායත් අජ්ජත්ත කාය බහිද්ද කාය කියලා දෙකකට බෙදෙනවා. මෙන්න මේ දෙකට තමයි සබ්බ කාය නැතිනම් සක්කාය කියලා කිව්වේ. මොකක්ද මේ සබ්බ කාය කියන්නේ. අජ්ඣත කාය කිව්වේ ඇස, කන,නාසය, දිව, ශරීරය, මනස කියන හය. නැතිනම් සලායතන. බහිද්ද කාය කිව්වේ මේ හයට ගෝචර බාහිර ආයතන හය. රූප, ශබ්ධ, ගන්ධ , රස , පොට්ඨබ්බ, ධම්ම කියන හය තමයි මේ බාහිර ආයතන ලෙසට දැක්වෙන්නේ. මේ හයේ දෙක එකතු වුනාම දොලහයි. මේ දොලහට තමයි සබ්බකාය කියන්නේ.

තාතාගතයන් වහන්සේ කිහිප තැනකම දේශනා කරලා තියෙන දෙයක් මට මතක් වෙනවා. මේ බඹයක් පමණ වූ ශරීරයට මම ලොකය යැයි පනවමි කියලා. එසේ නම් ලෝකය කියන්නේ මේ සිරුරටයි. ඇත්තටම තතාගතයන් වහන්සේ ලෝකය කියලා පණවන ලද්දේ අපි ඉහත කතා කල අජඣත්ථ කාය සහ බහිද්ධ කාය යන අංග දොලෙහයි. කිසිම කෙනෙකුට මේ දොලොසින් තොර ලෝකයක් නැහැ. ඔබ සිතනවා නම් ඔබ කිසිදා නොදන්න දෙයක් අද තමා විසින්ම යුරේකා කියලා දැනගත්තා කියලා එය මිත්‍යාවක් විතරයි. ඒ ඔබගේ ධම්ම ලෝකයේ ඇති දෙයක්. ඔබට ඔබගේ ධම්ම ලෝකටය සිත යොමු කල හැකිනම් බොහේ දේවල් දැකගත හැකි වේවි. මේ නිසා තමයි දැන් දැන් බෝහෝ දේනෙක් උගත් කම තියෙන්නේ පත පෝතේ නොව විශ්වයේ බව කතා කරන්නේ. ඇතතටම මේ දැනුම තියෙන්නේ ධම්ම ලෝකයේ. ධම්ම ලෝකය තියෙන්නේ තමන් තුලමයි. තම සිත දියුණු කර ගෙන ධම්ම ලෝකයෙන් අවශ්‍ය දැනුම ලබා ගන්නා ක්‍රමයක් තියෙනවා. එය මාතෘකාවට අදාල නැති නිසා ඒගැන කතා කරන්නේ නැහැ.

දැන් තවත් කරුණක් ගැන මම ඔබගේ සිත යොමු කරන්නම්. අපි බෞද්ධයන් ලෙස බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ලෞකිකත්වයෙන් මිදී ලෝකෝත්තර ගමණක යන්න නේද? මේ වචන දෙකේ තේරුම කුමක්ද? ලෝකයේ එල්ඹගෙන ඉන්නවා නම් එයා ලෞකිකයයි. ලෝකයෙන් කෙනෙක් එතෙර වෙනවා නම් එයා ලෝකෝත්තරයි. මේ දෙකම කරන්නේ සිතෙන් මිස කයෙන් නොවන බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි. එසේ නම් අපි ලෞකිකක්තවයෙන් මිදෙන්නට නම් අපි ඉහත කියපු දොලොස් ආකාර ලෝකයෙන් මිදෙන්නට නේද තියෙන්නේ. එසේ නම් අපිට මේ ලෝකයෙන් මිදෙන්නට බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා තේරුම් ගත යුතුයි.

අපි මුලින් කතා කලේ සලායතන ගැන. සලායතන බාහිර ආයතන හයක් සමග ගැටෙනවා. ඒ තමයි රූප, ශබ්ධ ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන ඒවා. අභ්‍යන්තර ආයත බාහිර ආයතන සමග ඇලවෙලා තියෙන නිසා තමයි අපි මේ ලෝකයට ඇලෙන්නේ. මේ ගම් එක ගැන අපි තේරුම් ගත්තා නම් අපිට මේ ගැටලුව ලෙහා ගන්න පුලුවන්. තතාගතයන් වහන්සේ දේශනා කරනවා තින්නං සංඝති ඵස්සෝ කියලා. අැසයි රූපයයි ස්ඵර්ෂ වෙන්න ධර්මතා තුනක් එක්විය යුතුයිලු. මොනවද මේ තුන. ඇසයි රූපයයි චක්ඛු විඤ්ඤානයයි තුන එකතු වීමෙන් තමයි මේ ස්පර්ෂය හටගන්නේ. ඇස අපිට වෙනස් කරන්න බැහැ. මේ නිසා ඇස වෙනස් කිරීමෙන් ලෝකයෙන් මිදෙන්නට බැහැ. එසේ මිදෙන්නට හැකිම් ඇස් නොපෙනෙන අයයි මුලින්ම දුකෙන් නිදහස් වෙන්නේ. රූපය වෙනස් කරන්නත් බැහැ. එය අනිච්ඡ කියන ධර්මතාවයට යටත්ව පවතිනවා මිස අපට එය වෙනස් කරන්නට බැහැ. නමුත් චක්ඛු විඤ්ඤානය අපිට වෙනස්කරන්නට හැකියි නේද? චක්ඛු විඤ්ඤානය යනු ඇස සහ සිත දෙක එකුව හදන උපාදානස්කන්ධයක්. එය ලෝශ දෝෂ මෝහ කියන අකුසල මූලයක් සමග සැමවිටම බැදී පවතිනවා. ඒ කියන්නේ කැමැත්තක් හෝ අකමැත්තක් හෝ සිිහියෙන් තොර වීමක් මේ මානසිකත්වය තුල තිබෙනවා. මේ නිසාම සත්වයා ලෞකික කියන මාවතේ ඉදිරියට යනවා.
‍මේ ආගාධයෙන් ගොඩ එන්නට ඇති එකම මාර්ගය ලෙස තතාගතයන් වහන්සේ දේශනා කරනවා ඒකායනො අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ….. කියලා ඒ තමයි එකම මාර්ගය සතර සති පට්ඨානය. අද ඒකත් වරද්දලා කියලයි මට හිතෙන්නේ.

යම කෙනෙක් ලෝශ දෝෂ මෝහ සිතිවිලි වලින් මිදනේන නම් සිහිය එල්ඹගෙන තමන් දකින් රූපයට කැමැත්තක් හෝ අකමැත්තක් නැතිව වාසය කරන්නට හැකි විය යුතුවේ. මෙයම විදර්ෂණාවයි. එය කයට අනුව, සිතට අනුව, වේදනාවට අනුව, ධර්මාතා වලට අනුව ලෙසට හතර ආකාර වේ. මෙය සතර සතිපට්ඨානයයි. එයත් අපගේ මාතෘකාව නොවන නිසා මම ඉදිරියට යන්නම්.

මට ඔබට ඒත්තු ගන්වන්නට අවශ්‍ය වුයේ අපි මේ ලෞකිකත්වයේ සිරවී සිටින්නේ ලෝබ, ද්වේෂ, මෝහ, කියන අකුසල මූලයන් තුන නිසා බවත්. යම් දවසක මේ තුන අත හැරීමෙන් ලෝකෝත්තර විය හැකි බවත්ය.

දැන් අපි බුදුන් වහන්සේ දේශනා කල සක්ඛාය දිට්ඨිය ප්‍රහාණය කිරීම ගැන ටිකක් සොයා බලමු.

සක්කාය දිට්ඨිය ප්‍රහානය කල කෙනා සෝතාපන්න වන බවයි දැක්වෙන්නේ. එසේ නම් යම් දිට්ඨියක් තමයි මේ ප්‍රහාණය කරන්නට තියෙන්නේ. ඒ තමයි සබ්බ කාය ගැන තියෙන දෘෂ්ඨිය. එය ප්‍රහාණය කරන්නට නම් ලෝබ දෝෂ මෝහ කියන අකුසල මූලයන් ගෙන මිදෙන්නට වෙනවා. යම් කෙනෙක් මේ මිදෙන්නට තියෙන අකුසල මූලයක් අල්ලාගෙන සිටින තාක් මෙයින් මිදෙන්නට බැහැ. මිදෙනවා කියන එකට තමයි පාලි වලින් මා කියලා කියන්නනේ. මා පරම්පරාය, මා පිටක සම්දානේන, මා ඉතිකිරාය, මාමේ බාලසමාගමෝ වගේ පද වලින් මෙය තේරුම් ගත හැකියි. මේ සැම තැනකම කියන්නේ මිදෙනවා කියන එකයි. ඉතිං අපි මේ මිදෙන්නට තියෙන දෙයකට කැමැත්තෙන් ඉන්නවාලු. කැමැත්තට පාලියෙන් කියන්නේ ඉච්ඡා කියලා. සිංහලෙන් වුනත් ඉච්ඡාව කියන්නේ කැමැත්තටනේ. කැමැත්ත නැති වුනාම ඉච්ඡාභංගවෙනවා. අපේ සිරුරේ අපේ කැමැත්තට අනුව චලනය කරන්නට හැකි පේෂි වලට ඉච්ඡානූග පේෂි කියනවා. සේ කැමැත්තෙන් චලනය කරන්නට නෙැහැකි හෘදය වගේ එ්වා අනිච්ඡානූග පේෂි කියනවා. ඒවාට සම්බන්ධ ස්නායුද ඉච්ඡානූග සහ අනිච්ඡානුග ලෙස වෙන් කෙරෙනවා. මේ අනුවද අපිට ඉච්ඡ කියන වචනය තේරුම් ගත හැකියි. දිට්ඨී කියන්නෙ දෘෂ්ඨියටයි. අපි යම් මතයක එල්ඹගෙන ඉන්න එකටයි දෘෂ්ඨියක් කියලා කියන්නේ. ඒක දැඩිලෙසට එල්බගත් මතයක්. දැන් මේ වචන තුන එක් කලාම මා+ඉච්ඡා+ දිට්ඨි= මිච්ඡාදිට්ඨි කියලා එනවා. දැන් තේරුම් ගන්න මිත්‍යා දෘෂ්ඨීය කයන්නේ මොකක්ද කියලා.

අපේ බෞද්ධයන් යැයි කියා ගන්නා අය සිතාගෙන සිටිනවා උපැන්න සහතිකයේ තියෙන බෞද්ධ කම නිසා මිත්‍යාදෘෂ්ඨියෙන් මිදෙන්න පුලුවන් කියලා. එසේ වන වා නම් සියළු බෞද්ධයන් සෝවාන් වූ අය විය යුතුයි. මුලින්ම මේ මිත්‍යාවෙන් මිදෙන්න. තමන් සිටින තැන තේරුම් ගන්න. එවිට මේ ලෝකයෙන් මිදෙන්නට පාර විවර කරගන්නට හැකිවේවි.

අද බෞද්ධයන් සෝවාන් වෙන්නට සම්මා දිට්ඨියට එන්න හදනවා. මිත්‍යා දිට්ඨීයේ මිදීමම සම්මා දිට්ඨියයි. එතන ඇත්තේ ලෝබ දොෂ මෝහ තුන අතහැරිම මිස සම්මා දිට්ඨිය කියා දෙයක් අල්ලා ගැනීමක් නොවේ. සම්මා දිට්ඨිය තුල කිසිවක් නැත. මේ නිසා අල්ලා ගන්නට දෙයක් නොමැත. එසේ නම් කරන්නට ඇත්තේ සක්කාය දිට්ඨියෙන් මිදෙන්නට වෙර දැරීම නොවේද? සම්මා දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිඵලයයි. අද අපි ඒකත් දෘෂ්ඨියක් යැයි සිතා වඩන්නට වෙර දරනවා. ඉතිං කවදාවත් ඒක කරන්නට බැහැ.

නිවනින් මෙහා තියෙන තවත් ලෞකික සම්මා දිට්ඨියක් ගැන දහමේ සදහන් වෙනවා. එයද දසවස්තුක මිත්‍යාදිට්ඨියෙන් මිදීම ලෙසයි දැක්වෙන්නේ. ඒ ගැනත් පොඩි අවධානයක් යොමු කර බලන්න. දසවස්තුක මිත්‍යාදෘෂ්ඨියෙන් මිදෙන කෙනාට ලෞකික සම්මා දිට්ඨියට එන්න පුලුවන්. ඉතිං මේ අයට දිව්‍ය ලෝක වල එහෙම රවුමක් ගහලා එන්න පුලුවන්. ඒත් ඊලගට යන තැන ගැන වගකීමක් මේ ලෞකික සම්මා දිට්ඨිය තුල නැහැ. මෙයන් මිදෙන්නට නම් ලෝකකෝත්තර සම්මා දිට්ඨිය වෙතම පැමිණිය යුතුවේ. ඒ නිසා සක්කාය දිට්ඨියෙන් මිදීමම කල යුතු වේ.

තතාගතයන් වහනසේ දේශනා කල පරිදිම කරන්නට අමාරුම වැඩේ සක්ඛාය දිට්ඨිය ප්‍රහාණය කිරීමයි. ඊට හේතුව මේ දිට්ඨීය අපේ චිත්ත සංතානයතුලම සැගවිලා සිටීමයි. එය නිවැරදි යැයි සිතන්නට අපිට හුරුවී තිබීමයි. ලෝක සම්මතය ධර්මතාවයන් වසා පැතිර සිටීමයි. තතාගතයන් වහන්සේ යම් දේශනාවක් සිදුකර අවසන් වූ පසු ශ්‍රාවකයන් වහන්සේලා විසින් සිදුකරන ලද උදාන වාක්‍යයක් තියෙනවා.ඉතාමත් අගෙයි තතාගතයන් වහන්ස වහලා තියෙන දෙයක් ඇරලා පෙන්වුවා වාගෙයි. කියලා. එහෙනම් මේ දහම හැමදාම වෙනත් මතයකින් වහලා තමයි තියෙන්නේ. අදටත් එහි වෙනසක්නැහැ. උගතුන් යැයි කියාගන්නා පිරිසක් විසින් කිසිදු හිරිකිතයකින් තොරව මේ දහම වසාතැබීම පිනිස අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඔබත් ඔබේ සිතට තට්ටු කරබලන්න. දහම වසා තැබීම තරම් අපරාදයක් තවත් නැහැ.

හැකිනම් ෂෙයාර් කරලා ධර්මදානයේ කොටස් කරුවෙක් වන්න.

‍මෙත් සිතිනි…!!

0 Shares

One thought on “අද උදුවප් පසලොස්වක පෝය දවස නිසා පොඩි බණක් කියන්න හිතුනා. මෙහි දැක්වෙන කාරණා සමග පැටලෙන්න එපා. තමන්ගේ මතයට ගැලපෙන්නේ නැත්නම් ඉවත ලන්න.

  1. Hatch sandwich bar says:

    It is the best time to make some plans for the long run and it
    is time to be happy. I have learn this put up and if I may just I wish to recommend you
    few fascinating things or advice. Maybe you can write next articles relating
    to this article. I want to read even more things about it!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *