හතර කේන්දරේ පාළු වෙන්නේ ඇයි?

සිංහල වෙදකම ගෘප් එකේ කතා කරන්නේ වෙදකම ගැන වුවත් ජ්‍යෝතිෂයද හෙළ වෙදකම සමග බැදී ඇති හෙයින් ඒ ගැන යම් දැනුමක් තිබීමද වැදගත් යැයි සිතුන නිසා මෙම ලිපිය ඔබ වෙතට ගෙන එන්නෙමි. අපට මෙම දැනුම ලබා දුන් වහරක ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය මුලින්ම පදකර සිටිමි.

ජ්‍යෝතිෂයට අකමැති. එය පිළි නොගන්නා අය මෙම ලිපිය කියවීමෙන් ඵලක් නොවන හෙයින් ඔබගේ කාලය නාස්ති නොකරන ලෙසට මා විශේෂයෙන් ඉල්ලා සිටිමි.

මෙම ලිපිය මා විශේෂයෙන්ම ලියන ලද්දේ දැන් දැන් ජ්‍යෝතිෂය ගැන දරණ මතය එක් එක් අතට හැරෙන නිසාය. ජ්‍යෝතිෂ්‍ය යන විෂය හරියට දැනගෙන ඒ පසුපස නොයා තම කර්ම, කර්ම ඵල ගැන යම් දැනුමක් ලබා ගැනීම පිනිස පමණක් යොදාගන්නට වෙහෙසෙන්න. ඒ පසු පස හඹා යාමෙන් ඇති ඵලක් නැත. නමුත් තමා හට යම් අකුසල කර්මයක් ඵලදෙන්නට ඇත්නම් එහි අංශුමාත්‍රයක් හෝ කලින් දැන සිටීම වැදගත් නිසා මෙය ලිවීමට තිරණය කලෙමි.

ප‍්‍රථමයෙන් කේන්දරය යනු කුමක් දැයි දැන ගැනීම සුදුසුය. ‘‘ කේ ’’ යනු ක්ෂය වන පහත් දේ යන අර්ථය ගෙන දේ. කේවල් කරනවා යන වචනයක් අදටත් ව්‍යවහාරයේ පවතී. ‘‘අන්’’ යනු ආහාර යන්නයි. අන්න ශ්‍රෝතය, අන්ත‍්‍ර යන ආහාර මාර්ගයේ ඇති කොටස් ගැන සලකා බලන විට මෙය තේරුම් ගත හැකිය. දර යනු දරණවා යන්නයි. ක්ෂය වන ආහාර දරා ගෙන යන ගමන සටහන් වන පත‍්‍රය කේන්ද්‍රය ලෙස හඳුන්වයි. ක්ෂය වන පහත් ආහාර ලෙස හඳුන්වන්නේ ලෝභ, දෝෂ, මෝහ නැමති සත්වයාගේ සංසාර ගමන පෝෂණය කරන අකුසල ධර්ම වේ. ‘‘සබ්බේ සත්තා ආහාරටිඨිතිකා’’ යනුවෙන් බුදු දහමේ සඳහන් වන්නේද මෙයයි.

ආහාරය සතර අකාර වන අතර ඒවා කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, විඥාඥාන ආහාර, මනෝ සංචේතනා ආහාර ලෙස ධර්මයේ දැක්වේ. අපි නිතර කතා කරන්නේ කය බලියක් ලෙසට සකස් කරන්නට හේතුවන කබලිංකාර ආහාර ගැන පමණි. අද අප මෙහිදී කතා කරන්නේ ඉතිරි ආහාර තුන විසින් අපට සිදු කල විනාශය ගැනයි. ඉන් මිදීමම නිවන වේ.

කේන්දරය පුච්චා නිවන් දකින්න යැයි ජන වහරේ කියමනක් තිබේ. කේන්දර සටහන ඇති කොළය පුච්චා නිවන් දැකිය නෙැහැකි බව ඔනෑම කෙනෙකුට පෙනෙන සත්‍යයකි. නමුත් ඉහතින් සඳහන් කල කේ – අන් – දර නැමති පද තුන තුල ඇති සත්වයා දරාගෙන යන ලෝභ දෝෂ මෝහ නැමති අකුසලයන් දිනක දවා හරින රහතන් වහන්සේට කේන්දරයක් නොමැත. ඒ අනුව නියමාකාර ලෙස කේන්දරය පුච්චන්නේ රහතන් වහන්සේය. කේන්දරය පුච්චන ආකාරය කියා දෙන්නේ බුදුන් වහන්සේය. මේ අනුව කේන්දරය පුච්චන ආකාරය දැන ගන්න. කොළ පුච්චා නිවන් දැකිය නොහැකි බවද තේරුම් ගන්න.

හඳහන යන්නේ ඇත්තේද මෙවැනිම වූ අර්ථයකි. හන යන්නෙන් විනාශය යන තේරුම ගෙන දේ. හඳ යනු හා – අඳ යන පද දෙකක එකතුවයි. එම පද දෙකෙන් පිලිබිඹු වන්නේ අඳ බැවින් හාවූ යන්නයි. අඳ බවින් හාවීම නිසා ඇතිවන විනාශය හඳහන යන්නෙන් කියවේ. අඳ බවින් හා නොවී යන්නට ඇති ගමන නිවන් මග ගමන් කිරීමයි. ඒත් මේ වන තෙක් ඔබ ඒ මග ගමන් නොකල නිසා අදටත් ඔබ සංසාරයේ ගමන් කරයි. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ අවසන් මට්ටමට පැමිණි රහත් වහන්සේට හඳහනක් නැත. අඳ බව යනු ප‍්‍රඥාවෙන් තොර වීමයි. නුවණැස අඳ වීම නිසා ලෝභ දෝෂ මෝහ යන අකුසලයන් නොපෙනේ. මේ නිසා ඔවුන් හන නොහොත් විනාශය කරා ලගා වේ. මෙම විනාශය ගැන දැනගත හැකි පත‍්‍රය හඳහන ලෙස හැඳින්වේ. තවත් ආකාරයකින් බලන කල චන්ද්‍රයාද ස්වයං ප‍්‍රභා ආලෝකයක් නොමැති අඳුරු ග‍්‍රහයෙකි. චන්ද්‍රයා එලිය ලබන්නේ සූර්‍යා ගෙනි. මේ නිසාම චන්ද්‍රයා දුර්වල පුද්ගලයන්ගේ නුවණ දුර්වලය. තවත් අතෙකින් බලන විට චන්ද්‍රයා මනසට බලපාන ග‍්‍රහයාද වේ.මේ සැම අතින්ම බලන කල කේන්ද්‍රයට හඳහන යන යෙදුමද ගැලපෙන බව පෙනේ.

මෙම කේන්ද්‍ර සටහන ජන්ම පත‍්‍රය කියාද හඳුන්වයි. ජන්ම යන වචනය යෙදෙන කිහිප තැනක් අපි සලකා බලමු. ජන්මාන්තර වෛරක්කාර, ජන්ම ගති, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි, යන වැකි වල ජන්ම යන වචනය යොදා ඇත්තේ පෙර සසරෙන් ගෙනා යන තේරුම ඇතිවය. එසේ නම් ජන්ම පත‍්‍රයේ සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්ම යන්ය. මේවා අතර පින් පවු යන දෙවර්ගයේම කර්ම ඇත. පින පල දෙන විට සැපද පව් පල දෙන විට දුකද දැනේ. පින පලදෙන කල දසාව ලැබූ විට හොඳ කල පැමිණි බවත් පවු පල දෙන කල දසාව ලැබූ විට නරක කාලය ලැබූ බවත් මිනිසුන් සිතයි. දසාව යනු දස ආව යන්නයි. දස යනු දස කුසලය සහ දස අකුසලයයි. දස ආව යනු එම දස කුසලය සහ දස අකුසල හේතුවෙන් මෙම ආත්ම භාවයේදී අපහට ගෙවීමට සිදුවන කර්ම ඵලයන් ආව ආකාරයයි. අප කැමති වුවත් අකමැති වුවත් මේ දෙකම බාරගත යුතුය. කෙසේ වෙතත් අකුසල කර්ම පල දෙන අය වැඩි කාල වලට ජ්‍යෝතිර් වේදී මහතුන්ට කිසිදු විවේකයක් නොමැති බව කිව යුතුය. ඒ ඉන් මිදීම පිනිස ප‍්‍රතිකර්ම සොයා ගැනීමට මිනිසුන් පෝලිමේ පැමිණෙන නිසාය. ඒ සඳහා පිලියම් තිබීම නිසා ඔබ සැබැවින්ම වාසනාවන්ත බව සිතට ගත යුතුය. නමුත් මේවාට පිලියම් යෙදිය යුත්තේ පින් පල දෙන කාල වලදී බව බොහෝ දෙනා නොදනී. දන් දිය යුත්තේ තමාට ලැබෙන විට මිස ණයට ගෙන නොවේ.

කේන්ද්‍රයක කොටු 12ක් ඇත. මෙම කොටු දොලහ ග‍්‍රහයන් 7 දෙනෙකුට අයිති වන අතර කිසිදු අයිතිවාසිකමක් නැති ග‍්‍රහයන් දෙදෙනෙකුද සිටී – රාහු සහ කේතු. මේ අනුව ප‍්‍රධාන ග‍්‍රහයන් ගනන 9 ක් වන අතර සියළුම ග‍්‍රහයන් මෙම කොටු 12 ඇතුලේම ලගී. මෙම කොටු වලට රාශි නොහොත් භාව ස්ථාන ලෙස හඳුන්වයි. මෙම එක් එක් රාශි ඇති විමටද ධර්මාණු කූල හේතු ඇත. ‘‘ග‍්‍රහයා’’ යනු අප විසින් පෙර සසරේ ‘‘ග‍්‍රහණය’’ කරගත් දේ අනුව කේන්ද්‍රයේ පිහිටන ධන ඍණ සහ උදාසීන ශක්තීන් වේ. මෙම ග‍්‍රහයන් සිටින රාශියට අනුව අප පෙර සසරේ කුමක් ග‍්‍රහණය කර ගත්තාද යන්න ජ්‍යෝතිර් වේදියාට සිතා ගත හැකිය. ඔබ ග‍්‍රහණය කර ගත්තේ විසකුරු සර්පයෙකු නම් ඔබ ග‍්‍රහණය කරගත් දේ නිසා ඇතිවන ප‍්‍රතිඵලය මරණය හෝ ඊට සමාන දෙයක් බව ඔබට සිතා ගත හැකිය. මේ අනුව එක් එක් ග‍්‍රහයන් ලගින ස්ථානය ඔබ උපදින විටම තීරණය වී හමාරය. එසේම අප සංසාරය පුරාවටම හුරු කරගෙන එන ප‍්‍රධාන ගතියක් ඇත. එම ගතිය නිසා අප උපදින විටම ඊට අදාල ලගින රාශියක් උරුම කරගෙන අප උපදී. මෙම තැනට ජ්‍යෝතිෂයේදී ලග්නය යැයි කියයි. ලගිනවා යන අර්ථයෙන්ම ලග්නය යැකි කියයි. මෙය කේන්ද්‍රයේ පලමු රාශියයි. මේ අනුව එක් එක් ලග්න වල ඉපදෙන අයට පොදු ලක්ෂණ ගනනාවක් ඇත. මේ ගැන වෙනම ලිපියක් බලා පොරොත්තු වන්න.

කේන්ද්‍රයක ප‍්‍රධාන රාශි 4 ක් ඇති අතර ප‍්‍රධාන නොවන රාශි 8 ක් ඇත. ප‍්‍රධාන රාශි හතර වන 1,4,7,10 වන රාශීන් වල ග‍්‍රහයන් නොපිහිටියේ නම් ඔවුගේ හතර කේන්ද්‍රය පාළු යැයි කියයි. මෙසේ හතර කේන්දරේ පාළු වන පුද්ගලයන් අවාසනාවන්ත කොටසක් යැයි මතයක් මිනිසුන් අතර පවතී. ඇත්තටම එහි සත්‍යයක් තිබේද? හතර කේන්දරය පාළු අයගෙන් කොටසක් ඉතාමත් වාසනාවන්ත අතර තව කොටසක් ඉතාමත් අවාසනාවන්ත ජීවිත ගත කරයි. මෙය අපි තෝරා බේරා ගනිමු.

මෙම හතර කේන්ද්‍රයට අදාල වන ගුණාංග සහ ඊට අදාල වන දේ පහත අයුරින් වේ.

1. ලග්නය. ලෙස හඳුන්වන මෙම රාශීය ශරීරය ගැනද ශරීර ලක්ෂණ ගැනද, ශරීර පෙනුම ගැන ප‍්‍රධාන වේ.

4. දේපල, ඉඩකඩම්, ගේදොර. සුරැකි වස්තු, ආදිය සහ මව ගැන මෙම රාශිය ප‍්‍රධාන වේ.

7. තම කාලත‍්‍රයා නැතිනම් සහයකයා වන භාර්‍යාව සහ ස්වාමිපුරුෂයා ගැන මෙම රාශීය ප‍්‍රධාන වේ.

10. රැකියාව, සහ තම අභිමාණය ගැන මෙම රාශිය ප‍්‍රධාන වේ.

ඉහත සඳහන් රාශිවල ඇති ගුණාංග කෙනෙක් ග‍්‍රහණය කර නොගත්තේ නම් එම රාශි වල ග‍්‍රහයන් නො පිහිටයි. මෙසේ ග‍්‍රහණය නො කරන ආකාරය පහත අයුරින වේ.

තම ශරීරය, පෞරුෂය යන මේ දේවල් ගැන කෙනෙකු නොසිතා වෙනත් දේවල් ගැන සිත යොමු කල හැකිය. කෙනෙක් තම ශරීරය ගැන නොසිතා නැතහොත් ශරීරය ග‍්‍රහණය නොකර තම දරුවන් ගැන සිතිය හැකිය, තම ආදායම ගැන සිතිිය හැකිය. අනුන්ගේ රූපයට ඊර්ශ්‍යා කරමින් සිටිය හැකිය.තමන් කැමති වෙනත් දෙයකට සිත යොමු කල හැකිය. මේ හේතු නිසා මොහු උපන් වේලාවේ ලග්නයේ කිසිම ග‍්‍රහයෙකු නො පිහිටන්නට පුළුවන. ඒ ඔහු ලග්නයෙන් පිලිබිඹු වන ගුණයන් ග‍්‍රහණය නොකල නිසාය.

තවත් කෙනෙක් තම දේපල ඉඩකඩම් ගැන කිසිදු තැකීමක් නොකර තම ජීවිතය බේබද්දෙකු සල්ලාලයෙකු ලෙස ගත කල හැකිය. මොහුද තම දේපල ඉඩකඩම් ග‍්‍රහණය කර නොගත් අයෙකි. මේ හේතුවෙන් ඔහුගේ 4 වන රාශියේ කිසිදු ග‍්‍රහයෙකු නොපිහිටයි.

තවත් කෙනෙකු තම භාර්‍යාව ගැන නොසිතා වෙනත් කාන්තාවන් පසුපස ගොස් තම පවුල් ජීවිතය විනාශ කරගන්නට හැකිය. ඔහුද තම කාලාත‍්‍රයා ග‍්‍රහණය කර නොගත් කෙනෙකි. මේ නිසා ඔහුගේ 7 වැන්නේ ග‍්‍රහයන් නොපිහිටයි. කාන්තාවන්ටද මෙම ආකාරයටම වේ.

තවත් කෙනෙකු තමාගේ රැකියාව හරිහැටි නොකර අයතා ලෙස මුදල් උපයා ගැනීමට තම රැකියාව උපයෝගී කරගත හැකිය. තමා නිසි ලෙස රැකියාව නොකර වෙනත් ක‍්‍රියාවන්හි යෙදෙන්නට හැකිය. මොහුද තම රැකියාව ග‍්‍රහණය කර නොගත් කෙනෙකි. ඔහු ගේ 10 වැන්නේ ග‍්‍රහයන් නොපිහිටයි.

පෙර ආත්ම භාව වලදී ඉහත සඳහන් 4 ආකරයෙන්ම අදාල ගති ග‍්‍රහණය නොකල අය සිටිය හැකි වන අතර ඔවුන් ගේ ජන්ම පත‍්‍රයේ ප‍්‍රධාන භාව 4ම ග‍්‍රහයන් ගෙන් තොර විය හැකිය. ඔවුන් හතර කේන්ද්‍රය පාළු ජන්මීන් ලෙස හැඳින්වේ. අදාල ක‍්‍රියා කාරකම් සඳහා පෙරලා ලැබෙන කර්මය කුමක් විය හැකිදැයි ඔබම සිතා බලන්න. ඔහු පෙනුමෙන් අප‍්‍රසන්න විය හැකිය, දේපල නැති, හරි විවාහයක් නො කෙරෙන. හරි හමං රැකියාවක් නැති කෙනෙක් නො වන්නේද? ඔබ කර්මය විශ්වාස කරනවානම් මෙයද පිලි ගත යුතුය. ඇත්තටම ඔහු අවාසනාවන්තයෙකි. එසේම ඔහු ගෙනා කර්මය ට බුදු දහම තුල ප‍්‍රතිකර්ම තිබීමද වාසනාවකි. තමා ඉහත ආත්මභාව වලදී සිදු කල අකුසල කර්ම ගැන පසු තැවීම පලක් නොවන අතර ප‍්‍රබල කුසල කර්ම සිදු කිරීම මගින් අකුසල ශක්තිය හීන කල හැකිය. ඒ එවැනි කුසල කර්ම සිදු කරන ආකාරය ගැන මා හට වෙලාව ඇති විට ටිකෙන් ටික ගෙන එන්නම්…

එසේම තවත් කොටසකගේ හතර කේන්දරය පාළු වේ. ඔවුන් පහත අයුරින් දැක්විය හැකිය.

තමාගේ ශරීරයේ ඇති අනිච්ච තාවය දැක එය බොරු ආටෝපය සඳහා සැරසීමට වෙහෙස මහන්සි නොවී තම දිවිය ධර්මාණු කූලව ගෙවන කෙනාද ලග්නයෙන් පිළිඹිබු වන ගුණයන් ග‍්‍රහණය නොකල අයෙකි. මේ හේතුව නිසාද ජන්ම පත‍්‍රයේ 1 වැන්නේ ග‍්‍රහයන් නො පිහිටයි.

තමාට උරුම කම් ඇති ගේ දොර ඉඩ කඩම් ගැන තන්හාවක් නැතිව අන් අයට බෙදා දී ඔවුන් ගේ සතුට දැක සැනසෙන්නට හැකි සිතක් ඇතිව දිවි ගෙවන කෙනාද 4 වැන්නෙන් පිළිඹිබු වන ගුණයන් ග‍්‍රහණය නොකල අයෙකි. ඔහුගේද 4 වැන්නේ ග‍්‍රහයන් නොපිහිටයි.

තමාගේ භාර්‍යාව කෙරේ දයානු කම්පාව ඇතිව ඇයට තම මවට සේ කරුණාව දක්වන ඇයට ඇයගේ සිතැ`ගි පරිදි ජිවත් වන්නට ඉඩ හරින කෙනාද භාර්‍යාව ග‍්‍රහණය කර නො ගෙන ජීවත් වන කෙනෙකි. එසේම තම ස්වාමියා තම සිතෙන් ග‍්‍රහණය කර නො ගෙන ජීවත් වන භාර්‍යාව ගේද 7 වැන්නෙන් පිළිබිඹු වන ගුණයන් ග‍්‍රහණය නො කල නිසා 7 වැන්න වූ තම සහයකයා ගැනකතා කරන ස්ථානයේ ග‍්‍රහයන් නොපිහිටයි.

තමගේ රැකියාව පවා අතහැර කෙනෙකු අන් අයගේ යහපත පිනිස සේවයට කැපවන අවස්ථා ඇත. සමහර විට ඔවුන් ධර්මාවබෝධය ලබා ගැනීම පිනිස තම රැකියාව පවා අත්හරින අවස්ථා ඇත. මොවුන්ද 10 වැන්නෙන් පිළිබිඹු වන රැකියාව ග‍්‍රහණය කර නොගත් අය වෙයි.

මෙම රාශි වලට අයත් ලෞකික දේ ගැන මෙසේමදැන ගත යුතුය.

ඉහත් සඳහන් හතර ආකාරයේ ගුණාංග සහිත අයගේද හතර කේන්ද්‍රය පාළු වේ. නැතිනම් 1,4,7,10 යන රාශි වල ග‍්‍රහයන් නොපිහිටයි. මෙසේ විම නිසා ඔහුගේ ජීවිතය කෙසේ විය හැකිද?

ඔහු මනා ශරීර ලක්ෂණ වලින් හෙබි, ගේ දොර වතු පිටි වලට උරුමකම් කියන, ඉතාම සුවච කීකරු භාර්‍යාවක් හෝ ආදරණීය ස්වාමිපුරුෂයෙකු හිමි. ඉතා සාධාරණ ලෙස ජීවත් වීම සඳහා වන ආදායමක් ලබාගත හැකි රැකියාවක් හිමි මහා පුණ්‍ය වන්තයෙක් වනු ඇත. ඒ කෙනාද හතර කේන්ද්‍රය පාළු වූ අයෙක් වේ. නැතිනම් අදාල භාව ස්ථාන වලින් කියවෙන ගුණයන් ග‍්‍රහණය නොකල කෙනෙක් වේ.

මේ අනුව හතර කේන්ද්‍රය පාළු දෙකොට්ඨාෂයක් ඇති බව පෙනේ. නමුත් මෙම දෙකොට්ඨාෂය වෙන් වෙන්ව හඳුනා ගත හැකිය. ඉහත කී ගුණයහපත් පින්වන්ත පුද්ගලයා ගේ හතර කේන්ද්‍රය පාළු වුවද සුබ ග‍්‍රහයන් 5,9 වැනි ස්ථාන වල සිටීම නිසාත් පාප ග‍්‍රහයන් 3,6,11 වැනි ස්ථාන වල සිටීම නිසාත් ජන්මියාට ඇති පෙර පින් ගැන ජ්‍යොතිර් වේදියාට හොඳින් වටහා ගත හැකිය. එසේම ඉහතින් සඳහන් කල හතර කේන්ද්‍රය පාළු පාප කාරී පුද්ගලයාගේ සුභ ග‍්‍රහයන් අසුභ ස්ථාන වලද පාප ග‍්‍රහයන් සුභ ස්ථාන වලද පිහිටීම නිසා ඔහුගේ තත්වය තවත් බැරෑරුම් වේ.

ඉහත සඳහන් කල කරුණු කාරනා අනුව කෙනෙකුගේ කේන්ද්‍රය දුටු පමණින්ම ඔහු අවාසනාවන්තයෙකු යැයි සිතීම ප‍්‍රඥා ගෝචර නොවේ. ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත‍්‍රය හොඳීන් පරීක්ෂා කර බලා තීරණය කල යුතුය. ඔහු යම් අවාසනාවන්ත පුද්ගලයෙකු ලෙස පෙනේ නම් ඔහු හට මේ කර්ම විපාකය ගැන කියා දී ඉන් අත්මිදීමට සිදු කල යුතු වන පිලියම් ගැන ඔහුව දැනුවත් කල යුතුය.

කෙනෙකුගේ ජන්ම පත‍්‍රයේ ඉහත සඳහන් ආකාරයේ අවාසනාවන්ත ග‍්‍රහ පිහිටීමක් ඇත්නම් ධර්මාණුකූලව සිදුකල යුතු ප‍්‍රතිකර්ම කිහිපයක් පහතින් කමෙන්ට්ස් ලෙසට ගෙන එන්නම්.

මා හට හදහන් බැලීමට කාල වේලාව නොමැති බව ඉතාමත් කාරුණිකව මතක් කර සිටිමි. යම් දරුණු සොයාගත නොහැකි රෝගී තත්වයක් ඇති කෙනෙකුගේ පමණක් දයානුකම්පාවෙන් සිදු කරන බවද මතක් කරමි.

තවත් කෙනෙකුට උපකාර කිරීමේ යම් පරාර්ථකාමී සිතිවිලි ඇති අය මේ ලිපි ෂෙයාර් කරයි කියලා මම හිතනවා.

මේත් සිතිනි.

Close Menu