මෛත්‍රී භාවනාව වැඩීම රෝගී තත්වයක් ඇති අයෙකුට ඉන් මිදීමට සුදුසුම පසුබිම සකසා දෙයි.

පැනයකට දුන් පිලිතුරක් ලිපියක් විතර දිග වීම නිසා එයත් මෙහිම පල කරන්නට සිතුනා.

ඇත්තම කතාව නම් අපි මෛත්‍රිය දෙනවා නෙවෙයි අපිට මෛත්‍රිය ලැබෙනවා. ඒකට සුදුසු කම් ලැබෙන්නේ සියළු ලෝක සියළු සත්වයන්ට මෙත් පතුරුවන්නට හැකි අයටයි. හරියට වත්තකට ඇතුල් වෙන්න තියෙන ගේට්ටුවක් වගේ තමයි මේ මෛත්‍රිය වඩනවා කියන්නේ. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා බෝධිසත්ව අත්බැව් වල පටන්ම පැතිරවු මෛත්‍රිය මේ විශ්වයේ අදටත් තියෙනවා. ඒ නිසා තමයි මේ විශ්වය මෙසේ පවතින්නේ. ඒ මෛත්‍රී තරංග අතරුදන් වූ කාලයට තමයි මිනිස්සු මෛත්‍රී සංඥා වැඩීම අතහැර දමා මෘග සංඥා වඩන්නට පටන් ගන්නේ. මේ කාලයට තමයි මෘගසංවර්ෂාව වැටෙන්නට පටන් ගන්නේ. ඒ නිසා මෙත් වැඩීම කියන්නේ මහාත්පල මහානිසංස ඇති පින් කමක්. මේ හරහා ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ විශ්වයේ පැවැත්මට අවශ්‍ය ශක්තියයි ලබා දෙන්නේ.

ඒ නිසාම මෙත් වඩන අයට විශ්වයේ ඇති මෛත්‍රී තරංග තමාගේ කයට ලැබෙනවා. ඒ බව අත්දැක ඇති අය සමහර විට මෙතන ඇති. සතිපට්ඨානය වැඩීමත් හොදයි. එහි වරදක් නැහැ.

මේක හරියට ගණු දෙනුවක් වගේ. අපි මෙත් වඩන විට අපිට මෙත ලැබෙනවා. ඒකනේ මෛත්‍රී භාවනාව පින් රැස්වෙන භාවනාවක් ලෙසට නම් කරලා තියෙන්නේ. මෙත් වැඩීම හරියට දානයක් දෙනවා වගේ පින් කමක්. අපි දෙන දේ දහස් ගණනින් වැඩිවෙලා නැවත අපිට ලැබෙනවා. අපිට කරන්නට තියෙන්නේ සමනන්තරය හදන එක විතරයි. ආහාර බේත් හේත් වලින් කරන්නේ ඒ සමනන්තරය හදන එකයි. සතිපට්ඨානය කුසල් වැඩෙන නිවන පිනිස වන භාවනාවක්.

(අනන්තරය සමනන්තරය කියලා දෙකක් තියෙනවා. මේ බව සූවිසිපට්ඨානයේ සදහන්. අනන්තරය කියන්නේ අන්නත සංසාරයේ අපි කල කුසල අකුසල ශක්තිය. සමනන්තරය කියන්නේ මේ අත් බැව තුල අදාල කුසල අකුසල කර්ම ඇදී එන්නට අපි හදන පසුබිම. හරියට අපි කෙනෙක්ට ගහලා අපි අකුසල කර්මයක් කරලා තියෙනවා කියමු. ඉතිං අපි දැං ගුටි කන්න වෙනවා. අපි රස්තියාදු කාරයෝ ටිකක් එක් හන්දියකට වෙලා ඉන්නවා නම් අර අකුසලය ඇදිලා එන්නට අවශ්‍ය වටපිටාව හැදිලා ඉවරයි. ඉතිං කොහේවත් යන ලෙඩක් හරි පාත්වෙනවා. කෙනෙක් හිතුවොත් අද මෙතන ඉන්න හොද නැහැ මම අද පන්සලට වෙලා ඉන්නවා කියලා කර්මය ඇදී එන්නට තිබුනත් විදිහක් නැහැ. මොකද පරිසරය වෙනස්. හදහන් බලන අය මේ කාලය හොද නැහැ ගමෙන් පිටවෙලා ඉන්න කියලා කියන්නේ මෙන්න මේ කාරනය සදහයි)

ධම්මකූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දින දහයක් භාවනා කොට අවසන් වන දිනයේ සිදු කරන මෙත්වැඩීම තුලදී අපිට මේ බව හොදින්ම අත්දකින්නට හැකියි.

අපි දස සිදාවේ සිටින සියලුම සත්වයන්ට මෙත් වඩනවිට මාගේ සතුරන්ටද කියලා වෙනම මෙත් වඩන්නේ නැහැ. මොකද අපි සතුරන් කියන පදයත් එක්කම සතුරු මිතුරු යන බේදයකට අපි යටත් වෙනවා. මට මතක හැටියට මේක සංගනිකා දෝශය කියලයි කියන්නේ. දන්න කෙනෙක් නිවැරදි කරයි කියලා හිතනවා. අපිට සතරු මිතුරු මගේ මගේ නොවන ආදී වශයෙන් බෙදීමක් අවශ්‍ය නැහැත ඉහත ඇති භාවනා වීඩියෝවේ ඇත්තේ එසේ නොබෙදුන සියළු සත්වයන්ට මෙත් වඩන ආර්‍යෙමෙත්‍රී භාවනාවයි.

යම් කෙනෙකුගේ කයට අරක්ගත් යම් අමනුෂයයෙක් වේද, එවැනි අයට මෙසේ මෛත්‍රිෙයන් පිරුණු අයෙක් ගේ සිරුර තුල සිටීමට නොහැකිය. මේ නිසාද අදාල පුද්ගලයා රෝග වලින් නිදහස් වේ. සසරේ යම් අකුසල කර්මයක් සිදු කිරීම නිසා අද යම් රෝගයක් සැදී ඇත්ද මෛත්‍රී වැඩීම මගින් ලෝකයේ අනන්ත සත්වයන්ට සෙතක් ශාන්තියක් උදා කල නිසාම අකුසල කර්ම ඇදී එන්නට ඇති සමනන්තරය වෙනස්වී අකුසල කර්මහේතුවෙන් හටගන්නට තිබූ රෝග හට නොගැනීමටත් හටගෙන ඇති රෝග සුව වීමටත් හේතුවේ.

මේ සෑම අතින්ම බලනවිට මෛත්‍රී වැඩීම රෝග සුව විම පිනිස බලපානු ඇත.

මෙත් සිතිනි…!!

Close Menu