බෙ‍‍හෙත් ගන්න ගිහින් ලෙඩ වැඩිකරගෙන එන අය ගැනයි.

අපි හිතාගෙන ඉන්නේ වෙදමහත්තයාගෙන් බෙහෙත් ටික ගත්තම ලෙඩේ සනීපයි කියලා. තවත් දොස්තර මහත්වරු ඉන්නවා වන්ෂොට් කියලා අන්වරථ නාම වලින් හදුන්වන. ඒ අය ලගට යන රෝගීන් වැඩියි. ඒ දෙන අය දන්නවා මොනවාද මේ දෙන්නේ කියලා. අපි ඒ ගැන කතා නොකර ඉමු. මොකද මම මේ කතා කරන්න හදන්නේ ඊට හාත්පසින්ම වෙනස් කාරණාවක් නිසා.

අපි ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කලාම 6 ට එක්ක කියලා වෙලාවක් ලැබුනට සාමාන්‍යෙන් තව පැය කිහිපයක් ගිහින් තමයි තමන්ට වාරය පැමිණෙන්නේ. ඒ වෙනකම් මිස්ටර් බීන්ගේ විකට බල බලා කිසිම ගානක් නැතිව ඉන්න අය සිංහල වෙදමහතෙක් ලගට ගියාම පුදුම හදිසියක් තියෙන්නේ. තවත් කෙනෙක් පෙරලගෙන හරි රවටලා හරි යන්න තමයි බලන්නේ. මෙතන සිදුවන මානසික ප්‍රශ්නය ඔබගේ රෝගය වැඩිවන්නට හේතු වන බවයි මම මේ කියන්න හදන්නේ.

ඔබට යම් අංකයක් සහ වෙලාවක් ලැබුනා කියමුකෝ. ඒත් මේ අතර පිළිකාවක් වැනි කර්මගත රෝගයක් සැදුන කෙනෙක් ඔබට ඉස්සෙල්ලා බෙහෙත් දෙන්න වෙදමහත්මයා සැරසෙනකොට ඔබගේ සිතට යම් තරහවක් එනවා නේද? ඇයි මම පාන්දර ඉදලා ඉන්න කෙනා. මේ මිනිහා ආවා විතරයි දැන් බෙහෙත් අරගෙනත් යනවා කියලා හිතෙනවා. බැළුෑ බැල්මට සාධාරනයි වගේ නේද? ඒත් මේ අවස්ථාව ඔබට ඔබගේ කර්මයක් තුනී කරගන්නට යොදාගත හැකියි.

‍මේ කර්මගත රෝගියා විශාල දාහයකින් පෙලෙනවා. ඔබත් යම් දාහයකින් පෙලෙනවා. ඔබට කලින් බෙහෙත් අරං යන මෙවැනි රෝගීයෙක් දුටුවාම, ඔබ ඔබගේ කාලය මේ පිලිකා රෝගියාට දන් දුන්නා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔබ දාහය ඉවසාගෙන තවත් කෙනෙකුගේ දාහයක් නිවන්නට හැකි වනසේ ගුණයක් වර්ධණය කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද? ඒ ගුණය ඔබගේ රෝගය ගුණ වන්නට හේතු වන බව ඔබට සිතෙන්නේ නැද්ද?

ඔබ දන් දීලා ලැබෙන පින පවක් ලෙසට පෙරලා ගන්න එක නේද කරන්නේ. තමන්ගේ සිතට තට්ටු කරලා බලන්න. ගුණවත් වෙන්න. ගුණවත් වෙන්න රෝග ඔබෙන් දුරින් දුරටම යන්නේය.

‍මෙත් සිතිනි.

Close Menu