ආසාත්මිකතාවයට හේතව සහ ඉන් මිදෙන මග.

ආසාත්මිකතා Allergy ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

  1. Classic Allergy.
  2. Food allergy.

මෙම දෙකෙන් පලමුවැන්න තමන් ආසාත්මික වන යම් දෙයක් වේද ඊට ඉක්මන් ප්‍රතිචාර දක්වන අතර දෙවන කොටස තරමක් ප්‍රමාද වී ප්‍රතිචාර දක්වයි. මේ නිසා පලමු කොටස සාමාන්‍යයෙන් තමන් මේ මේ දේවලට ආසාත්මිකයැයි දැනගත හැකි නමුත් දෙවැනි වර්ගය වන ආහාර ආසාත්මික වීම පමා වන නිසා තරමක් දුරට අදාල ආහාරය සොයා ගැනීම අපහසු වෙයි. කෙසේ නමුත් මෙම ආසාත්මිකතා දෙවර්ගයේම මූලය එකක් වේ. එනම් අප ජීවිතයේ යම් දවසක අදාල ආහාරයට හෝ වෙනයම් දෙයකට එරෙහිව අප ශරීරය ප්‍රතිදේහ නිර්මාණය කර ඇති බවය.

ප්‍රතිදේහ කියන්නේ මොනවාද? අපි ඉපදුන දා සිට බාහිර පරිසරයේ ඇති විෂබීජ සමග ගැටෙනවා. මෙසේ ගැටෙන ගැටෙන වාරයක් වාරයක් පාසා අපි ලෙඩ වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි අපේ ප්‍රතිශක්තිකරණය නිසිලෙස ක්‍රියාත්මක වීම. නමුත් සමහර අය ඉන්නවා නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන සෙම්ගෙඩි හටගන්න අය. මේ අයගේ ගැටළුව තමයි ප්‍රතිශක්තිය දුර්වල වීම. අපගේ ප්‍රතිශක්ති කරණ පද්ධතියේ ඇති සුවිශේෂී වූ කොටසක් තමයි මේ ප්‍රතිදේහ කියන්නේ. අපගේ සිරුරට අවශ්‍ය නොවන යම් ආගනතුක දෙයක් අපගේ සිරුරට ඇතුළු වූවානම් අදාල ආගන්තුක ආහාරයට හෝ වෙනයම් කොටසකට එරෙහිව සදන ප්‍රතිදේහය තමයි අපිට මේ ආසාත්මික තාවයට හේතුව වෙලා තියෙන්නේ. සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනයම් රෛස් රෝගයකට හේතු වන වෛරසයට එරෙහිව අප ගේ සිරුරේ අදාල ප්‍රතිදේහ නිපදවා ඇත්නම් ඹහුට මෙසේ නිතර නිතර අදාල රොගය සැදෙන්නට හේතුවක් නැත. මක් නිසාද යත් අදාල ප්‍රතිදේහ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සතු නිසා යම් වෛරසයක් හෝ බැක්ටීරියාවක් දුටු විගස එය විනාශ කිරීමට හැකි වීමයි. මේ ආකරයටම අපගේ සිරුරට යම් ජීර්ණය නොවූ ආහාර කොටසක් ඇතුළු වූයෙ නම් එවිට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අදාල ආහාරයට විරුද්ධ ප්‍රතිදේහ නිපදවා පසුව නැවත පැමිණියහොත් භාවිතා කරන්නට හැකි වන ලෙසට තබා ගනී. මෙන්න මේ නිසා තමයි නැවතත් අපි අර ආහාරය ගත් විට ආසාත්මික තාව හටගන්නේ.

අපි දැන් එක් දෙයක් දැනගත යුතුය. එනම් අපගේ ශරීරයට කිසියම් ආකාරයකින් සිරුරට නොගැලපෙන යමක් ඇතුළු වී ඇති බව. එය ආහාරයක් හෝ දූවිලි හෝ මල් වල පරාග හෝ බළලුන්ගේ මයිල් හෝ විය හැකිය. අදාල ආගන්තුක කොටසට විනාශ කිරීම සදහා දැන් අපගේ සිරුර අවශ්‍ය ප්‍රතිදේහ වලින් සන්නද්ධ වී ඇති බව දැන් අපි දැනගත යුතුය. මෙසේ යම් දෙයකට ආසාත්මික වනවාද ඊට හේතුව ප්‍රතිදේහ වූවත් අප විඳින වේදනාවට හේතුව ප්‍රතිදේහ නොව මස්ට් සෛල ලෙස හඳුන්වන අපගේ ප්‍රතිදේහ සෛල විශේෂය mast cells මගින් අදාල ප්‍රතිදේහ සක්‍රීය වීම නිසා නිකුත් කරන හිස්ටමීන් නම් රසායනිකය නිසාවෙනි. මේ හේතුව නිසා යම් කෙනෙකුට යම් ආසාත්මිකතාවයක් ඇත්නම් බටහිර වෛද්‍ය විද්‍යාව මගින් ප්‍රති හිස්ටමීන් ඖෂධ ලබා දේ. මේනිසා අදාල ආසාත්මික තාවය නැතිවී යයි. නමුත් රොගය එසේම පවතී. මේ නිසා මෙවැනි ආසාත්මිකතා සුව කිරීම ඉතා අපහසු ලෙස දැකවේ. ඇත්තටම වී ඇත්තේ රෝගයේ මැදට ප්‍රතිකාර කිරීමයි. එයද අවශ්‍යය. මම එසේ කියන්නේ යම් කෙනෙකුගේ රෝග ලක්ෂණ කලමණාකරණය කරගැනීම වැදගත් වන නිසාය. නමුත් රෝග මූලය සොයාගනෙ එයිනි මිදීම දීර්ඝ කාලීන විසඳුම ලෙස මම දකිමි. එය හෝලිස්ටික් ක්‍රමයයි. අපි ඒ අනුව ඉදිරියට යමු.

අපගේ ශරීරයට යම් දෙයක් ඇතුළුවිය හැකි ප්‍රධානම ස්ථානය ආහාර ජීර්ණ පද්ධතියයි. ආහාර ජීර්ණ පද්ධතිය බහිශ්‍රාවීය පද්ධතියට අයත් නොවේ. ඊට හේතුව ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළුවන ආහාර ජීර්ණය වී බඩවැල් වලදී අවශෝෂණය වී ගුදමාර්ගය හරහා පිටතට යන අතර අවශෝෂණය වූ ආහාර පමණක් රුධිර සංසරණ පද්ධතියට එක්වේ. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතිය අපගේ සිරුරෙන් බැහැර පද්ධතියක් ලෙසට ගැනේ. මේ අනුව අපගේ බඩවැල් වලට පිටතින් අදාල ආහාර ජීරණය වී අවශෝෂණය කරගන්නා අවස්ථාවේදී අප සිරරට හරිදේ ගන්නවාද නැද්ද යන්න නිරීක්ෂණය කිරීමට විශාල පිිරිසක් බලා සිටී. හරියට රටකින් රටකට යනවිට ආගමණ විගමණ නිලධාරීන් චෙක් කරලා බලනවා වගේ වැඩක්. වැරදි කෙනෙක් ආවොත් අත්අඩංගුවට ගන්නවා. මෙන්න මේ පිරිස තමයි අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය. මේ අය යම් වැරදි කෙනෙක් අවොත් මීට පෙර අදාල ආහාරය වෙනුවෙන් නිපදවූ ප්‍රතිදේහව විසින් අත්අඩංගුවට ගනී. මෙන්න මේ අවස්ථාවේදී තමයි අර මම මුලින් කියපු හිස්ටමීන් නිකුත් කරන්නේ. හිස්ටමීන් රුධිරයේ ගම්න් කරන විට කැසීම පලු දැමීම, ඇස් රුතුවීම වැනි නොයෙකුත් ආසාත්මිකතා ඇතිවේ.

අපි දැන් දැනගත යුතුවන්නේ ඇයි මේ අාගන්තුක ආහාර අපගේ ශරීරයට ඇතුළු වූයේ කියන එකයි. අපගේ කුඩා බඩවැලේ ඇතුලත බිත්තිය නිර්මාණය වී ඇත්තේ ඉතාමත් කුඩා අංගුලිකා බිළියන ගණනකිනි. මෙම අංගුළිකා යම් විදිහකට විනාශවී ගියහොත් කුමක් සිදු විය හැකිද? අපි මෙම තත්වයට ලීකි ගට් ලෙස හදුනවනවා. නැතිනම් අන්ත්‍ර තුවාල වී ඇති බව. මෙම තුවාල වූ කොටස අතරින් ජිර්ණය නොවූ යම් ආහාර කොටසක් ඇතුළු විය හැකිය. මෙම කොටස බොහෝ විට ප්‍රෝටීනයක් වේ. මේ නිසා තමයි මස් වැනි දෙයක් කෑවහම ආසාත්මික වෙන්නේ. දැන් අපි සොයා බලන්න ඕනි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇයි ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලට පරිවර්ථනය නොවුනේ කියන එක. දෙවැන්න තමයි ඇයි අන්ත්‍ර තුවාල වුනේ කියන එක . මේ දෙක නැතිනම් අපිට මේ ගැටළුව ඇතිවන්නට හේතුවක් නැහැ.

අප ආහාරයට ගන්නා ප්‍රෝටීන ජීරණය කරන්නේ ආමාශයේදීය. ආමාශයේ ඇති අති සාන්ද්‍ර හයිඩ්රෝක්ලෝරික් අම්ලය එන්සයිම සමග එක්වී මෙම ප්‍රෝටීන ඉතාමත් වේගයෙන් ජීරණය කරයි. මෙසේ ජීරණය කල ද්‍රාවණයක් තමයි ආමාශයෙන් පහලට යන්නේ. යම් කොටසක් ජීරණය කල නොහැකි වී නම් අදාල ප්‍රෝටීන ග්‍රහණිය තුලදීත් ජීරණය කිරීමේ ක්‍රමවේදයක් ආහාර ජීරණ පද්ධතිය සතුය. නමුත් මෙම ක්‍රියාවලිය සදහා එන්සයිම නිපදවීය යුතුය. අදාල එන්සයිම නිපදවීමට නිසි පෝෂණය අපි ආහාර සමග ලබා දී තිබිය යුතුය.

දැන් කුඩා බඩවැල් වලට යන ආහාර වල ජීරණය නොවුු ප්‍රෝටින තිබිය නොහැකිය. නමුත් යම් කෙනෙකුගේ ආමාශයේ ඇති ආම්ලිකතාවය අර ප්‍රෝටීන ජිරණය කරගන්නට තරම් නොවේ නම් හෝ ග්‍රහණිය තුල අදාල එන්සයිම නිපදවාගන්නට නොහැකි වීමක් ඇත්නම් කුමක් සිදුවිය හැකිද? ජීරණය නොවූ ප්‍රෝටීන කොටස් අන්ත්‍ර වලට එක්විය හැකියි නේද? දැන් අන්ත්‍රවල අංගුලිකා විනාශවී ඇතනම් එතැනින් මේ ප්‍රෝටීන වලට රිංගා යෑමට හැකියි නේද? ඉතින් මේ ප්‍රෝටීන කොටසට එරෙහිව ප්‍රතිදේහයක් අපගේ ප්‍රතිශක්තිකරණපද්ධතිය විසින් නිපදවනවා. ඒක බොහො කලක් අපගේ සිරුරේ පවතිනවා. ඉතින් නැවතත් අදාල ප්‍රෝටීන කොටස පැමිණියහොත් නැවතත් අර කියපු ප්‍රතිදේහය ක්‍රියාත්මක වෙනවා. ඉතිං හිස්ටමීන් නිකුත් කිරිමට මස්ට් සෛල වලට සිදුවෙනවා. ආසාත්මිකතාවය හටගන්නවා. එපමණක් නොවේ . නැවත නැවත අදාල ආහාරය ඇතුල් වන වාරයක වාරයක් පාසා අපගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අළුතෙන් ප්‍රතිදේහ නිපදවනවා. මේ නිසා මෙම තත්වය දීර්ඝකාලීනව පවතිනවා.

දැන් අපි දැනගන්නට අවශ්‍ය වන්නේ ඇයි මේ ආමාශයේ ආම්ලිකතාවය අඩුුවුනේ කියන එකයි. අපි කෑම කන මේසය උඩ තියාගෙන ඉන්න කොකා කෝලා හෝ වෙනයම් කාබනේටඩ් බීම වර්ගය ප්‍රධානම හේතුවයි. අපි භාෂ්මික ද්‍රාවනයක් ආහාර සමග ගත් විට ආම්ලිකතාවය අඩු වන බව කිව යුතු නැත. එය අපි සියළු දෙනා දන්නා කාරනකි. දැන් දැන් ඇල්කලයින් වතුර පානය කරන්නට කියලා කියන අය මේ ගැන යමක් පවසාවි කියා මා සිතනවා. කෑම කාලා අවසන් වූ වහාම අපි ගන්නා ගෑස් පෙත්ත කියන එක දෙවැනි හේතුවයි. හයිඩ්රෝක්ලෝරික් හදාගන්නට අවශ ්‍ය වන ක්ලෝරයිඩ හිගවීම තවත් හේතුවක්. ක්ලොරයිඩ් අපට ලැබෙන්නේ ලුණු වලිනි. දැන් දැන් ලුනු කෑම අවම කර තිබේ. ඒකටද හේතු පෙන්වා ඇත. අපි මේවා වෙනම කතා කරමු. එන්සයිම නිපදවීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස් නොමැතිවීම තවත් එක් හේතුවකි. කෙසේ හෝ අපගේ වැරදි ජිවන රටාව මෙම තත්වයට ප්‍රධානම හේතුව බව කිව යුුතුය. කෙසේ හෝ ආමාශයේ ප්‍රෝටීන ජීරණය කිරීමට නොහැකි වීම තුල මෙම රෝගයේ ප්‍රධානම හේතුව සකස් වේ.

දැන් දෙවැනි හේතුව බලමු. අපි ගන්නා සමහර ආහාර වල තියෙනවා ග්ලූටන් කියලා ප්‍රෝටිනයක් . මෙම ප්‍රෝටීනය මිනිස් ආමාශය තුලදී ජීරණය කරන්නට බැහැ. ඉතින් මෙම ප්‍රෝටීනය කෙලින්ම අන්ත්‍රවලට යනවා. අන්ත්‍ර වල යම් තුවාලයක් ඇත්නම් අපි දන්නවා දැන් සිදුවන දේ. නමුත් ගලූටන් නිසා සිදුවන්නේ මිට වඩා භයානක දෙයක්. අපි බලමු මේ ග්ලූටන් තියෙන ආහාර මොනවාද කියලා . ප්‍රධාන වශයෙන් 4 ක් තියෙනවා. පාන් පිටි, රයි, බාර්ලි, ඕට්ස් මෙම වර්ග හතරයි. ඉන්ද වැඩිම ප්‍රමාණයක් ඇත්තේ පාන් පිටි වලය. ග්ලූ කියන්නේ ගම් කියන එකයි. අපි පාප්ප හදන්න ගන්නේ පාන් පිටි නේද? මොකද මෙහි ග්ලූටන් ප්‍රතිශතය වැඩි නිසාය සාමාණ්‍යයෙන් 14% පමණ ග්ලූටන් ඇත. අනිත් ඒවාගේ මේතරම් නැ. ග්ලූටන් ආමාශයේදී නොකැඩී තිබිම හේතුවෙන් අන්ත්‍රවලට යන්නේ අර ඇලෙන සුළු ආකාරයටමය. මේ ඇලෙන සුලු ස්වභාවය සිහිත දෙයක් අන්ත්‍රවල අංගුලිකා හරහා ගමන් කරනවිට ඉතාමත් ක්ෂුද කොටසක් වන අංගුලිකා කැඩි කැඩී විනාශවෙයි. මෙය කාලාන්තරයක් තිස්සේ සිදු වන විට අන්ත්‍රවල පෝෂණය අවශෝෂණය කරගන්නට ඇත් අංගුලිකා ප්‍රමාණය අවම වේ. මේ නිසා අප ගන්නා ආහාර අවශෝෂණය නොවී පිටවීම මෙහි තවත් එක් අවාසි සහගත තත්වයකි. කෙසේ හෝ දැන් දෙවැනි වරදටද හේතුව අපි දන්නවා. ඒ ග්ලූටන්.

ඔබ හවසට ගෙදර යනවිට මස්කට් කැල්ලක් දරුවාට ගෙනයන්නේ සෙනෙහස නිසා වන්නට පුලුවන්. නමුත් මස්කට් කියන්නේ පැණි දාපු ග්ලූටන් බව මතක තබා ගන්න. මස්කට් ග්‍රෑම් 15 ක පානිපිටි කිලෝ එකක ග්ලූටන් අන්තර්ගතයි. මේ ගැන සොය බලන්න. ඔබ දරුවාට කරන්නේ මොනතරම් අකාරුණික ක්‍රායාවක්ද කියලා හිතලා බලන්න.

අපි මීට ටික දිනකට කලින් කතා කලා මතක ඇති මවුකිරි වල මුල්මාස කිහිපය තුල ඇති කොලෙස්ට්‍රම් ගැන. බොහෝ දෙනා ඉතා වැදගත් දේවල් කතා කලා. මම තවත් දෙයක් කියන්නම්. දරුවෙක් මවුකුසයෙන් එලියට එනවිට අන්ත්‍ර නිසි ලෙස සකස් නොවී තිබෙන්නට හැකියි. එසේ වුවහොත් සිදු වන්නේ දරුවාට දෙන ආහාර වලට එරෙහිව දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතිදේහ නිපදවීමයි. මව් කිරි වල ඇති කොලස්ට්‍රම් වල ඇති විශෙෂ ගුණයක් තමයි දරුවාගේ සිරුරේ ඇති පඨක ඉක්මනින් අළුත් වැඩියා කිරීම. ඉතින් දරුවාගේ බඩවැල් වල යම් සම්පූර්ණ නොවූ කොටසක් ඇත්නම් එයද මෙම කොලෙස්ට්‍රම් නිසා සම්පූර්ණ වෙනවා. ඉතින් අපි මේ කතා කරන අදානම දරුවාට ඇතිවන්නේ නැහැ. මේ නිසා තමයි වෛද්‍යවරුන් කියන්නේ පලමු මාස හය තුල මවු කිරි පමණක් දෙන්න කියලා. වෙනත් දේවල් දෙන එක දරුවාට කෙතරම් හොඳද කියන එක දැන් ඔබ ඔබගේම නුවණින් විමසා බලන්න.

අපි ආසාත්මිකතා ගැනතකා කරන්නේ ශරීරයේ පිටතින් පෙනෙන ගැටළුවයි. නමුත් ආසාත්මිකතාවයන් ශරීර අභ්‍යන්තරයටද තම මානසික ස්වභාවයටද බලපායි. යම් කෙනෙක් තමන්ට ආසාත්මික ආහාරයක් ගත් විට කේන්ති යෑමේ ප්‍රවණතාවක් ඇත. සමහර අයට අදාල ආහාරයේ ආසාත්මික තාවය පිට දාන්නේ ඒ ආකාරයෙනි. සමහර දරුවන් ඉතා හොදින් ඉදලා යම් ආහාරයක් ගත් පසු ඉතාමත් කලහකාරී ස්වරූපයෙන් හැසිරෙනවා ඔබ දැක තියෙනවාද දන්නේ නැහැ. එයටද හේතුව හිස්ටමීන් වේ. මෙම දරුවන්ට ප්‍රති හිස්ටමීන් ඔසුවක් දුන් විගස එම තත්වය මග හැරී යයි. ස්වභාවික ප්‍රති හිස්ටමීන්ද අප ගන්නා ආහාර වල ඇත. අපි ඒවා ගැනද කතා කල යුතුය.

අපි දැන් ආසාත්මික තාවය ඇතිවන්නට හේතුව දැනගත්තා. දැන් අවශ්‍ය වන්නේ ආසාත්මිකතාවයක් ඇත්නම් ඉන් මිදෙන මග දැනගැනීමයි. එසේම තමන්ට ආසාත්මික වන ආහාර ගැන දැනගැනීමත්. ස්වභාවිකව හිස්ටමීන් පාලනය කරන ක්‍රමවේදයත් අපි කතා කල යුතුය. කාල වේලාවේ ඇති ප්‍රශ්නය නිසා මේ ලිපිය බාගයක් පමණක් දැනට ඔබට ඉදිරිපත කරනවා.

ඉතිරි කොටස.

අපි දැන් දන්නවා ආසාත්මික තාවයකට හේතුව ප්‍රතිදේහ අපගේ ශරීරයේ සකස් වී තිබිය යුතුයි කියලා. එසේමඅදාල ප්‍රතිදේහ සකස් වීමට හේතවත් අපි දැන් දන්නවා. කුඩා බඩවැල තුල ඇති අංගුලිකා වල බිඳී යෑමක් නිසා රුධිර ගත වන ජීරණය නොවූ ප්‍රෝටින අංශු නිසා අදාල ප්‍රෝටීනයට එරෙහි ප්‍රතිදේහ නිපද වන බවත ්දැන් අපි දන්නවා. අංගුලිකා විනාශ වන්නේ ග්ලූටන් නිසා කියලත් දැන් දන්නවා. ප්‍රෝටීන ජීරණය නොවීමට හේතුව ආමාශයික යුෂයේ සාන්ද්‍රනය මදිවීම කියලත් අපි දන්නවා. දැන් අපි සොයා බලන්නට අවශ්‍ය වන්නේ ආහාර ජිරණ පද්ධතියට අමතරව වෙනත් ස්ථාන වලින් අපේ රුධිරයට යම් ආගන්තුක කොටසක් එක්විය හැකිද කියලා.

කෙනෙක් හුස්ම ගන්න අවස්ථාවේදී මල්වල පරාග, සතුන්ගේ ලෝම. දූවිලි වල ඉන්න ඉතා කුඩා මැක්කන් වැනි සතුන් සහ සමහර විට ඔබගේ ආහාර ජීරණ පද්ධතිය හරහා හෝ පෙණහළු වල යම් කිසි ආසාධිත තත්වයක් තිබුනේ නම් පෙණහළු හරහා රුධිර සංසරණ පද්ධතියට එක් විය හැකිය. කෙසේ හෝ අදාල අාගන්තුක කොටස ජීරණය නොවූ ප්‍රෝටින කොටසක් විය හැකිය. එසේ පැමිණෙන ආගන්තුක කැබලි වලට විරුද්ධවද අපගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ප්‍රතිදේහ නිපදවයි. මෙම ප්‍රතිදේහ නැවත නැවත සක්‍රීය වීම ආසාත්මික තාවය ඇතිවීමට බලපායි. යම් කෙනෙකුට මදුරු හෝ කූඹි දෂ්ඨණයක් මගින් යම් ප්‍රෝටින කොටසක් රුධිර ගත විය හැකිය. මේ ප්‍රෝටීනයටද විරුද්ධව ප්‍රතිදේහ සකස් වී තිබිය හැකිය. මෙවැනි අයට මදුරුවෙක් හෝ කූඹියෙක් කෑ වි මුළු සිරුරටම පලු දැමීමටත් කැසීමටත් පටන් ගනී.

තවත් සමහර දෙනෙකුට ප්‍රෝටීනයක් සහ තවත් එක් සාධකයක් එක වූ විට අදාල ආසාත්මික තාවය ඇතිවේ. එසේ සිදු වන්නේ ආසාත්මික තාවයට හේතුව ප්‍රතිදේහය නිපදවන අවස්ථාවේදී තිබූ පාරසරික සාධකයක්ද ප්‍රතිශක්තිකරණය මතකයේ තබා ගැනීමයි. සමහර අයට සමහර ආසාත්මිකතා ඇතිවන්නේ එක් එක් කාල වලදීය. සමහර අයට හිටපු ගමන් මල් වල පරාග වගේ ඒවා ආසාත්මික වන අතර සමහර දින වලදී එසේ නැත. එසේ වන්නේ අදාල දිනයේදී කන ආහාරයක් ආසාත්මික වන අතර එය සම්පූර්ණ කිරීමට පරාග තිබිය යුතුවීමයි. වෙනත් දින වලදී පරාග ආශ්වාස සමග ශරීරගත වූවත් එසේ නොවේ. මේ ගැන ඔබ තමන්ගේ අත්දැකීම් සමග සසඳා බලන්න.

ආසාත්මික තාවයට හේතු වන්නේ මස්ට් සෛල වලින් නිකුත් කරන හිස්ටමීන් බව අපි ඉහත සදහන් කලෙමු. බටහිර වෛද්‍ය විද්‍යාව මගින් මෙම හිස්ටමීන් මර්දනය කිරීම සඳහා ඇන්ටි හිස්ටමීන් වර්ගයේ ඖෂධ යොදාගනි. මෙම ප්‍රති හිස්ටමීන් වලට සමාන බයෝෆ්ලේවනොයිඩ් වර්ගයක් අප ගන්නා ආහාර වල ඇත. එය Quercetin ලෙස හඳුන්වයි. මෙමගින්ද හිස්ටමීන් නිකුත් කිරීම පාලනය කරයි. යම් ආසාත්මිකතාවයක් ඇති කෙනෙක් මෙම ආහාර නිතර භාවිතා කිරීම සුදුසුය. ඒවායින් කිහිපයක් පහත දක්වමි.

  • ග්‍රීන් ටී
  • බ්ලැක් ටී
  • රාබු කොල
  • රතුළූණු
  • කේල්
  • කොකෝවා පවුඩර්
  • චියා සීඩ්
  • මුරුංගා
  • අමු මිරිස්
  • ගම් මිරිස්
  • බ්‍රොකලි

මේවායේ ඇති Quercetin වලට හිස්ටමීන් මර්ධනය කිරීමේ හැකියාව ඇත. මේ නිසා මෙම ආහාර වලට පුරුදු වීම ආසාත්මික තා ඇති අයට බෙහෙවින් උපකාරී වෙවි.

තමන්ට ආසාත්මික තාවය සහිත ආහාරය කුමක්ද යන්න නොදන්නා පිරිසක්ද ඇත. එයද හඳුනා ගැනීමේ ක්‍රමවේද දෙකක් ඇත. පලමු වැන්න නාඩි ගණනය මගින්ද දෙවැන්න තමා සැක කරන ආහාරය ටිකකලක් නොගෙන සිටීම මගින්ද ලෙස වේ.

ඔබ යම් කිසි ආහාරයකට ආසාත්මික යැයි ඔබ සිතනවා නම් ප්‍රථමයෙන් අදාල ආහාරය ටිකක් ගෙන පුටුවක් හෝ ඇඳක් මත වාඩි වී තමාගේ දබරගිල්ල සහ මැදගිල්ල භාවිතා කොට අනෙක් අතේ නාඩි කීයක් විනාඩියකට වැටෙනවා දැයි ගණන් කරන්න. තත්පර පහලොවක් ගැණ හතරෙන් වැඩි කර ගත්තත් කමක් නැහැ. කොහොම හරි විනාඩියකට වැටෙන ගාණයි අවශ්‍ය. දැන් අර වෙන්කර ගත් ආහාරය ටිකක් අනුභව කරන්න. කටක් දෙකක් වගේ ඇති. විනාඩි 15 ක් පමණ සිට දැන් නැවත ගණන් කරන්න. එයද සටහන් කරගන්න. මේ ආකාාරයෙන් විනාඩි 15 න් 15 ට හතර වතාවක් කරන්න ඕනි. එක් වතාවකදී ඔබ කල ගණනය පලමු ගණනයට වඩා 10 කට වැඩා වැඩි නාඩි ප්‍රමාණයක් වේනම් අදාල ආහාරය ඔබට ආසාත්මික බව දැනගන්න.

දැන් ඔබ කල යුතු වන්නේ එම ආහාරයෙන් වසරකට වැඩි කාලයක් සම්පූර්ණයෙන් වැලකී සිටීමයි. හැන්දක් වත් ගැවෙන්න බැහැ. මේ ලෙස වසරකට වැඩි කාලයක් ගත කලහොත් අදාල ප්‍රතිදේහය ශරීරයෙන් ඉවත් වේ. එසේම ග්ලූටන් සහිත ආහාර වලින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුය. මෙය ආසාත්මික තාවය සුව කර ගැනීමට හැකි හොදම මාර්ගයයි.

දෙවැනි ක්‍රමය මීටවඩා සාර්ථක වුවත් කරන්නට ටිකක් වෙහෙස විය යුතය. ප්‍රථමයෙන් තමන් ආසාත්මික යැයි සිතන ආහාරයක් අවම දවස් 14 ක්ද උපරිම සයම් 28 ක්ද වන ලෙසට වර්ජණය කල යුතුය. දැන් 15 වන දින හෝ 21 වන දින හෝ 29 වන දින අර නතර කල ආහාරය තුන් වේලටම ගන්න ඕනි. දැන් බලන්න එම ආහාර ගැනීමෙන් පසු ඔබට ඇතිවන සංකූලතාවයන් මොනවාද කියලා. එසේම සමහර අයට තමාගේ ශරීරයේ ඇති බෝනොවන රෝග උත්සන්න වෙයි. සමහරුන්ට කේන්තිය කාලනය කරගත නොහැකි වෙයි. මේ සියල්ලෙන්ම පවසන්නේ අදාල ආහාරය ආසාත්මික බවය. මේ ක්‍රම දෙකම ඇත්තේ ආහාරයක් තමාට ආසාත්මික දැයි බලා ගැනීම පිනිසයි.

මේ සියළුම ආසාත්මික තාව ලට අමතරව සමහර අයට රසායන ද්‍රව්‍ය ආසාත්මික වන බව අපි දැක ඇත. මේකට හේතුව අදාල රසායනිකටය එරෙහිවද අපගේ සිරුරේ ප්‍රතිදේහ යම් දවසක නිපදවා තිබීමයි. මේ නිසා ඔබට යම් රසායනිකයක් ආසාත්මකි බව දන්නේ නම් වසරකට වැඩි කාලයක් අදාල රසායනිකය ස්ඵර්ෂයෙන් වැලකී සිටිය යුතුය. උදා හරණයක් ලෙස කොණ්ඩය ඩයි කරන වර්ණක ගත හැකිය. මෙවැනි අය වසරකට වැඩි කාලයක් මෙම රසායනික ද්‍රව්‍ය ස්ඵර්ෂයෙන් වැලකී සිටිය යුතුය.

මෙය ඉතාමත් දීරඝ මාතෘකාවක් වන අතර කෙසේ හෝ මේ පමණට කෙටි කරග්නට වෙහෙසුනෙම්. යම් වරදක් වේ නම් මෙහි සිටින විද්වත් අය නිවැරදි කරනු ඇතැයි සිතමි.

මෙත් සිතිනි. !!

Close Menu