ආනන්තර්‍ය පාප කර්ම තමයි අපි දන්න දරුණුම පව්. ඒ පාප කර්ම කලොත් අනිවාර්‍යෙයන්ම ඊලග අත්බැවේදී නිරයේ ගොස් ගෙවන්නට වෙනවා. ඒ ගැන ටිකක් කතා කරන්න හිතුනා.

  • මව මැරීම
  • පියා මැරීම
  • රහතන් වහන්සේලා මැරීම
  • බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම
  • සංඝ බේධය

‍මේවා තමයි ආන්තර්‍ය පාප කර්ම කියන්නේ. අපි මෙතනින් සංඝ බේධය ටිකක් ඉවත් කරමු. මොකද ඒක පුද්ගලික නොවන නිසා. අනෙක් හතරම පුද්ගලිකයි. අපි දන්නවා බුද්ධ දේශනාවට අනුව දෙමව්පියන් ගාව මහාබ්‍රහ්මයා සතු සතර බ්‍රශ්ම විහරණ තියෙනවා.

  • ‍මෙත්තා
  • කරුණා
  • මුදිතා
  • උපෙක්ඛා 

‍මේවා තමයි සතර බ්‍රහ්ම විහරණ.

‍මෙත්තා කියන්නේ මිතුරු කම, දෙමව්පියන් තම දරුවන් සමග මිතුරුයි. ඒ නිසා ඒ බ්‍රහ්ම විහරණ්‍ය දෙමව්පියන් ලග තියෙනවා.

කරුණා කියන්නේ දරුවන් ලෞකිකවත් ලෝකෝත්තරවත් දියුණු වෙනවා දකින්නට තියෙන කැමැත්ත. ඒ වෙනුවෙන් දක්වන අනුග්‍රහය.

මුදිතා කියන්නේ මැදහත් බව. අපේ අම්මලා තාත්තලා දරුවන්ට මධ්‍යස්ථයි. එක්කෙනෙක් ලොකුයි එක්කෙනෙක් පොඩියි කියලා නැහැ. සැමට එක හැන්දෙන් තමයි බෙදන්නේ. දැන් දැන් මේ බව ටිකක් වෙනස් බව පෙනෙන්නේ නූතන ආර්ථිකයත් පවුලට රිංගලා නිසා.

උපෙක්ඛා කියන්නේ දරුවෙක් හදන්න උපරිම උත්සාහ දරලා ඒත් සමහර අය හදාගන්න බැරි වෙනවා. ඒ අය කිසිම වෛරයකින් තොරව ඉවත් කරන්නට තියෙන හැකියාව තමයි මේ උපේක්ෂාව කියන්නේ. එක දරුවෙක් හොදයි කියලා ඇලෙන්නවත් තවත් දරුවෙක් නරකයි කියලා ගැටෙන්නටවත් යනනේ නැහැ.

මෙන්න ‍‍මේ කරුණු හතර තියෙන නිසා දෙමව්පියන් තුල සතර බ්‍රහ්ම විහරණ තියෙනවා කියලා කියනවා. රහතන් වහන්සේ තුල මේ බ්‍රහ්ම විහරණ උපරිමයට තියෙනවා. බුදුන් වහන්සේ තුල මෙම බ්‍රහ්ම විහරණ අනන්තයි. සීමාවක් පැණවිය නොහැකියි. උපමාවක් කිව නොහැකියි. උනිවහන්සේ තුල ඇත්තේ කරුණාව නොව මහා කරුණාවයි.

දැන් බලන්න මේ පව් කම් හතර කලාම මොකද වෙන්නේ කියලා. තමන්ව මරණ මොහොතේ තමන් හදපු දරුවා හරියට හදාගන්නට බැරි වුනා කියලා තමන් ගැන කලකිරීමක් එනවා මිස දරුවාට වෛර කරන්නට දෙමව්පියන් ගේ සිත දෙන්නේ නැහැ. ඒ අර සතර බ්‍රහ්ම විහරණ නිසා.

රහත්න් වහන්සේ කෙලෙසුන් ගෙන් දුරුවූ උත්තමයෙක් නිසා කෙසේවත් වෛරයක් ඇතිවෙන්නේ නැහැ.

තතාගතයන් වහන්සේ ගේ මෛත්‍රියට සීමාවක් නැහැ.

‍මේ නිසා මේ පව් කරන කෙනා ප්‍රතිරෝදයක් නැති තැනකට ශක්තියක් යොමු කරනවා. හරියට වාතයවත් නැති, ගුරුත්වයවත් නැති තැනකට වේගයෙන් ගලක් විසි කලා වගේ. එය පාවෙලා යනවා අවසානයක් දකින්නට අමාරුයි. අනෙක් සෑම පාපකර්මයකටම ප්‍රතිරෝදයක් අනෙක් පැත්තෙන් එනවා. මේ නිසා ඒ අවස්ථාවේ මේ කර්මය යම් කොටසක් කරන කෙනා සමග විදින කෙනාද බෙදා ගන්නවා. ආනන්තර්‍ය පාප කර්මය තමන්ම ගෙවන්න ඕනි. එහි කෙලවරක් දකින්නත් අමාරුයි. ඒතරම් දීරඝ කාලයක් ගෙවන්න වෙනවා.

මට මේ කාරණාව කියන්නට හිතුනේ මේ ටික කියන්නට නෙවෙයි. අපිට වෛර කරන කෙනෙකුට අපිත් වෛර කරන එක නේද අපි කරන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා බුදුන් වහනසේ දේශනා කලේ මේක නේද? දෙන්නා දෙපැත්තට ඇද ඇද සංසාරය පුරාවට යන එක නේද කරන්නට තියෙන්නේ. කෙනෙක් තමන්ට වෛර කරනවා නම් ඒ කෙනා දිහා අර සතර බ්‍රහ්ම විහරන තියෙන අම්මා දරුවෙකු දිහා බලන විදිහට බලන්න පුරුදු වෙන්න. කොහේවත් යන පවකට කර ගහන්න එපා. එයා නෙලා ගත් දේවල් එයාටම කන්න කියන්න. තමන්ගේ ඔඩොක්කුවට දාගන්න එපා. ඒවා විසයි. මොකද විස සහිත මනසකින් යුතුව කඩා ගත් ඵල.

තවත් එකක් මතක තබා ගන්න. ඔබ යම් කෙනෙකුට වෛර කරයි ද එසේම ඔබගේ ප්‍රතිවාදියා ඊට එරෙහිව වෛර නොකරයිද ඒ නෝංජල් කම නොව ඔහුගේ පාරමී ශක්තියයි. එය සුළු කොට තකන්න එපා. එවැනි අය සමග වෛර කරන්නට යෑමෙන් ඔබට ගෙවන්නට වෙන දුක් කන්ද ගැන ඉහත දැක්වූ ආනන්තර්‍ය පාප කර්ම ගැන සිතීමෙන් මවාගන්න. එය සුළු පටු නැහැ.

වදින්න වද්නින ගහන එකා මෝඩයා කියලා කතාවක් තියෙනවානේද? එහි ඇති ඇතුලාන්තය මේ කතාව තුල තියෙනවා. සිහියෙන් යුතුව තම සිත මෙහෙයවන්න.

ෂෙයා කලා නම් මේ පණිවිඩය තවත් දහස් ගානකට දැනගන්නට ලැබෙයි.

‍මෙත් සිතිනි…!!

========================

ඉක්මනට කේන්ති යන්නේ ඇයි කියලා මේ පෝස්ට් එකට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබුනා. ඒක හැමෝටම පොදු ගැටලුවක් නිසා එයට දුන්පිලිතුරත් මෙතනම සටහන් කරනවා.

පාරක වාහන වැඩිවෙනකොට එක්කෝ පාර පලල් කරන්න වෙනවා. නැත්නම් එන වාහන අඩු කරන්න වෙනවා. දැන් ඔබට වී ඇත්තේ පටු පාරක වාහන ගොඩක් එකට රොක් වෙලා වගේ වැඩක්.

ඔබට කේන්ති යන්නේ ඒ එන ධාරාවන් පාලනය කරගන්න බැරි නිසයි. දෙන්නෙක් කතා කර කර ඉන්න විට පැත්තකින් ලොකු සද්දයක් එනවා නම් කේන්ති යනවා නේද? අපි හිතමු වාහනයක් හෝන් ගහනවා කියලා. ලොකු කේන්තියක් එනවා. ඇයි අර කතාවට දැන් බාදාවක්නේ. එසේ වෙන්නේ ඇයි. දැන් ඔබගේ මනස කියන පාර පටුයි සිතිවිලි කියන වාහන වැඩියි. ටික වේලාවක් ඔබගේ සිහිය ඒ හෝන් එක දෙසට යොමු කරගෙන ඉන්නකො. අර කේන්තිය පහව යනවා. මේ විදිහට සිහිය හුරු කරන්න. එවිට කල් යන විට සිහිට දියුණු වෙනවා. එවිට පාර පලල් කලා වගේ තමයි. වාහන ගොඩකට යන්න පුලුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *