නිවන් අරමුණු කර පහන් පූජා කරන ආකාරය.

පහන් පූජාව දැන් අලෝක පූජාවක් විදිහටයි සිදු කරන්නේ. එය ප්‍රඥාලෝකය මතුකර ගැනීම පිනිසද භාවිතා කරනවා. කෙසේ වෙතත් ප්‍රඥාව මතු කරගන්නට නම් පහණ තුලින් අනිච්ඡ දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂනය දැකිය යුතුයි. එසේ නැතිව පහල වෙන ප්‍රඥාවක් බුදු දහමේ නැහැ. මේ නිසා අපි ඒ ගැන ටිකක් තේරුම් ගන්නට බලමු. ටිකක් ගැඹුරු මාතෘකාවක් මා හට තේරෙන විදිහට කියාදෙන්නට දරන උත්සාහයක් නිසා වැරදි අඩුපාඩු ඇත්නම් කමෙන්ට්ස් වලදී නිවැරදි කරන්න.

‍මේ විශ්වයේ තියෙන සියළුම අංශු ප්‍රකම්පණය වන බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අද ඒ බව නවීන විද්‍යාවද පිලිගන්නවා. කොටින්ම කියතොත් ආලෝකය පවා කම්පණ සංඛ්‍යාතයක් සහිත බව දැන් අපි දන්නවා. මේ කම්පණ ගැන විද්‍යාව දන්නේ ඉතාම අල්ප ප්‍රමාණයයි. දැනට විද්‍යාවට හසුවන ඉතාම ක්ෂුද අංශුවට වඩා ඉතාමත් කුඩා අංශුවක් ගැන බුදු දහමේ සදහන් වෙනවා. ඒ තමයි ශුද්ධාෂඨකය. මේ ශුද්ධාෂඨකය කියන අංශුවක් සෑම චිත්තක්ෂන 17 ක් තුලදීම ඇතිවී. පවතින කාලය තුල වෙනස්වී නැතිවී යනවා. නැවතත් ඒ ශුද්ධාෂඨකය එතනම එකක් හෝ ඊට වැඩි ගණනක් ලෙසට මතුවී එනවා. මෙන්න මේ ඇතිවීීම, පැවතීම නැතිවීම යක කාරණය අපිට හිතාගන්නට වත් බැරි කාලයක් තුලදී සිදු වෙනවා. නමුත් එතනම නැවතත් උපදින නිසා අපිට මේ වෙනසවත් නැතිවීමවත් හදුනා ගන්න බැහැ. මේ නිසා අපි යමක් පවතිනවා කියා සිතාගෙන සිටිනවා.

අපි දන්නා කුඩාම අංශුව වන පරමාණුව සැදී ඇත්තේ මෙවැනි ශුද්ධාෂඨක ලක්ෂගාණක් එකතු වෙලා. ඉතිං පරමාණුවත් මෙසේම ඇතිවෙලා පැවතිලා, පවතින කාලය තුල වෙනස් වෙලා නැතිවෙලා යනවා. ඊලග චිත්තක්ෂණය තුලදී නැවතත් ඒ පරමාණුවම නිර්මාණය වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය භ්‍රමණය වෙවී දීර්ඝ කාලයක් තුල සිදුවෙනවා. මේ අනුව අපගේ ශරීරයේ සෛලද, අප වටපිටාවෙ ඇති සියළු පණ ඇති පණ නැති දෑද ඇති වෙවී නැති වෙවී නැවතත් ඇති වෙවී පවතිනවා. නමුත් අතරක් දකින්නට නොහාකි නිසා සත්වයෙක් පුද්ගලයෙක් හෝ යමක් ඇතැයි අපිට සිතෙනවා. සාමාණ්‍ය මසැසට එය එසේ වුනාට වරදක් නැහැ. නමුත් ප්‍රඥාවට නම් මෙම යාන්ත්‍රනය ඒ විදිහටම දැකගත යුතුයි. එවිටයි ඔබ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ. බුදුන් වහන්සේගේ ධර්මය දුටු කෙනෙක් වෙන්නේ. පඥ්ඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඥ්ඥස්ස. එසේනම් මේ දේ නොදකින කෙනාට ධර්මයෙන් පලයක් ගන්නට බැහැ.

ටිකක් සිතාගන්නට අපහසු වුවත් නැවත නැවත කියවලා බලන්න. තේරෙයි. දැන් මේ ඇතිවන නැතිවන ස්වභාවය අපේ ශරීරයේද පවතිනවා. කුඩාම කොටසේ ක්‍රියාකාරීත්වය එසේ නම්, අපගේ සිරුර නිර්මාණය වී ඇත්තේද එවැනි ශුද්ධාෂඨක වලින් නම්. අපගේ සිරුරද ඇති වෙවී නැතිවෙවී පවතින බව වැටහෙනවාද? අපි එසේ සිතන එකේ ඇති වරදක් ඔබ දකිනවාද? එසේනම් අපගේ සිරුරද ඇතිවෙන නැතිවන දෙයක් බවට සැක හැර සිතා ගත හැකිද? චිත්තක්ෂණයක් කියන්නේ අපිට හිතාගන්නට බැරි තරම් කුඩා කාලයක්. අපි චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටියේ තත්පරයකට රාමු 25 ක් විතර යනවා. ඉස්සරනම් 15 ක් විතර තමයි මම දන්න හැටියට. ඒ 15 එකපිට එක දුවන නිසා අපිට මේක පින්තූර ගොඩක එකතුවක් ලෙසට දකින්ට බැහැ. ඒක ස්වභාවික සජීවී රෑප මාලාවක් ලෙසට පේනවා. නමුත් මේක අහුවෙන එක තැනක් තියෙනවා. ඒ තමයි චිත්‍රපටියේ වාහනයක් ධාවනය වන තැනක් පෙන්වුව හොත් ඒ වාහනයේ රෝදය සමහර වෙලාවට අනෙක් පැත්තට කැරකෙනවා පේන වෙලාව. සමහර වෙලාවට අපිට පේනවා රෝදය අනේක් පැත්තට කැරකෙන බව. මේක සිදුවන හේතුව දැනගන්න. එවිට අපිට චිත්‍රපටිය වුවත් ප්‍රඥාව අවධිකරගන්නට යොදාගන්නට හැකියි. ඇයි එහෙම පේන්නේ. රෝදයේ එක් දාරයක් එක තැනක සිට නැවතත් ඒතැනටම එන්නට තත්පරයෙන් 1/10 ක් ගියා කියා සිතමු. මේ අනුව අර රෑප රාමු 15 තුල මේ රෝදය කැරකිලා ඇති බව දැක්වෙන්නේ එක රාමුවක 1/10 ක දුරක් ලෙසයි. අපේ ඇසේ රෑප හදුනා ගැනීමේ වේගයත් තත්පරයකට 15ක් විතර වෙනවා. ඉතිං අපිට අර රවුමක් ගියා කියලා හිතාගන්නවාට වඩා ලෙසියි ප්‍රතිවිරුද්ධව කැරකුනා කියලා හිතාගන්න එක. මේ නිසා අපි කිසිම මහන්සියක් නැතිව රෝදය අනෙක් පැත්තට කැරකෙනවා කියලා හිතා ගන්නවා.

නිලා කූරක් අරං කරකවන කොටද මේ වගේ තමයි. රවුමක් පේනවා. ඒත් එතන රවුමක් නැහැනේ. අපේ සිරුරත් එහෙමයි. ඉතාමත් වේගයෙන් ඇතිවෙනවා නැතිවෙනවා ඉතාමත් සුළු චිත්තක්ෂන ගණනක් පවතිනවා. ඒ කාලය තුල වයසට යනවා. ඉන්පසු මරණයට පත්වෙනවා. නමුත් විඥ්ඥානය මගින් නැවතත් ඒ නැතිවූ රෑපය පවත්වන්නට ශක්තිය ලබාදෙන නිසා එකක් හෝ ඊට වැඩි ගණනක් ලෙසට නැවත උත්පාද වෙනවා. යම් දවසක මේ විඤ්ඥානයට මේ කාර්‍ය්‍ය කරගන්නට නොහැකි වුනොත් එදාට මේ සිරුර මලකදක් ලෙසට ඇද වැටෙනවා.

අපි නිරන්තරයෙන් මරණය හා සම්බන්ධ වූ අය. අපිට නොපෙනෙන නිසා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන සිටිනවා. ඒ ඉන්නේ රෑප පවත්වන්නට හැකි වේදනා, සංඥා, සංකාර ඵස්ස මණසිකාර කියන නාමය නිසා කියලා කිසිකනෙක් සිතන්නේ නැහැ. මම කියලා කෙනෙක් ගැන සිතමන් සිටිනවා. (මෙම පාලි වචන අවශ්‍ය නම් පසුව කතා කරමු.)

පහනත් එහෙමයි. තිරය තෙල් වලින් පෙගෙනවා. තෙල් බින්දුවක් තිරය උඩට එනවා. තෙල් බ්න්දුව ගිණි බින්දුවකින් වට ගර ගන්නවා. තේල් ටික පිච්චිලා යනවා ගින්දර ඇතිවෙලා නැතිවෙලා ඉවරයි. දැන් ආපහු තෙල් බන්දුවක් උඩට එනවා පෙර සේම ගිනි බින්දුව ඇති වෙලා නැති වෙලා යනවා. අපි පහන් දැල්ල දැකලා සතුටු වෙනවා. සුලගක් ඇවිල්ලා නිවෙයි කියලා කම්පා පෙනවා. සුලං නො වැදෙන සේ තබා ගන්නට වෙර දරනවා. තිරය තෙල් වල ගිලිලා පහන නිවෙයි කියලා කම්පා වෙනවා. තිරය පහලට යන එක නවත් වන්නට කාසියක් වත් දමනවා. තිරය ඉවරවෙලා නිවිලා යයි කියලා කම්පා වෙනවා අළුත් තිරයක් සොයලා දානවා. තෙල් ඉවරවෙලා නිවිලා යයි කියලා කම්පා පෙනවා අනේ තෙල් වලින් පහන පුරවනවා. මේ පහන කී පාරක් දැන් නිවි නිවි පත්තු වෙන්න ඇත්ද, අපි මේ සත්‍ය දකින්නේ නැතිව පහන පත්තුවෙලා තියෙන්නට අවශය දේවල් කරනවා. ඒත් පහන නිවි නිවි පත්තු වෙනවා. අපි පත්තු වෙලා තියෙන පහනක් දැකලා සතුටු වෙනවා. එය බුදුන්ට පූජා කරලා ආලොකය අයැදිනවා.

අපි අපේ ජීවිතයටත් මේ ටිකම නේද කරන්නේ. මරණයෙන් බේරෙන්න මොනතරම් දේවල් කරනවාද නේද? ආයෂ අවසන් වෙලා මැරෙයි කියලා බයෙන් ඉන්නවා, කර්මය අවසන් වෙලා මැරෙයි කියලා බයෙන් ඉන්නවා, ආයුෂයි කර්මයයි දෙකම අවසන් වෙලා මැරෙයි කියලා බයෙන් ඉන්නවා. ආයුෂ සහ කර්මය දෙකම තිබියදී සුලගක් ඇවිත් පහණ නිවීගියා සේ මැරෙයි කියලා බයෙන් ඉන්නවා. තෙල් සහ තිරය ආයුෂ සහ කර්මය ලෙසට සිතා ගන්න.

අපි නිරන්තරයෙන් ඉපදි ඉපදී මැරි මැරී සිටින බව දන්නවා නම් අපි ජීව්ත්වන්නට දරණ වෑයම තුල යම් කෙනෙකුට අවැඩ අසාධාරන කම් කරයිද? වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා කරයිද, මගේ මගේ කියා ගොඩ ගසයිද? අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්නට යත්න දරයිද? නැහැ නේද? ඔබ යම් ආකාරයකින් ඒ දහම් දුටු බව ඔබගේ පැවැත්මට ප්‍රශ්නයක්ද? නැහැ. සත්‍යය දකිනවා කියන්නේ මේ දේවල් ඇති සැටියෙන් දැකීමයි. මේ සිද්ධි දාමය කිසිම විටක අපිට කැමති සේ නැති බව පමණක් දැනගත්තා නම් ඒ ඇති. මේ සියල්ල අපේ කැමැත්තේන් තොරවයි සිදුවෙන්නේ. පහනත් එසේමයි.අපේ කැමැත්තෙන් තොරවමයි පවතින්නේ. දොලොස් මහේ පහනට වුවත් තේල්දානකම් තමයි පත්තුවෙන්න පුලුවන්. ඒත් අපේ කැමැත්ත නම් සදාකල් පත්තු වෙලා තියෙන්නයි.

පහනේ නිවී යාම සිදුවන්නේ යම් සේද, අපිද යම් දවසක මරණයට මුහුණ දෙන්නේය. ඒත් මෙහි අවසානයක් නැත. නැවතත් තැනක පහණක් පත්තු කරන්නට අවශය තෙල් සහ වැටි අපසතුව ඇත. ඒ තෙල් සහ වැටි අවසන් වන තුරු නිවන්ක් නැත. සෑම අත් බැවකම අන් අයට එලිය දෙන්නට පමණක් අපිට සිදුවේ. අපගේ ජීවිතය එලිය කරගන්නට නම් මේ චිත්තක්ෂන ගණණක් තුල මැරි මැරී උපදින අනිච්ඡ වූ ස්වරෑපය තේරුම් ගත යුතු වන්නේ ය.

‍මේ අණුව ඔබගේ මේ තාක් තිබු ඝණ අදුර දුරුවී යන්නට පාර සැදෙන්නේ ය. දැන් ඔබට ඝණසාරප්ප දිත්තේන ගාථාව කියා කියා ඝණ අදුර දුරුකර ගත හැකිය.

‍මේ දේවල් අප දැනගත්තේ වහරක අභයරතනාලංකාර හිමියන් අපිට දේශනා කල නිසයි. මා දිවිහිමියෙන් උන්වහන්සේ අපිට කියා දුන් දහම රැකගන්නට වෙර දරමි.

ෂෙයාර් කලා නම් තවත් කෙනෙකුට දැනගන්නට සැලැස්විය හැකිය.

‍මෙත් සිතිනි…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *