දේව සංකල්පය ගැන පොඩ් කරුණු ටිකක්.

දෙවියන් ගැන යම් සංවාදයක් පසුගිය දින ‍‍දෙක තුල ඇති වූවා. මමද ඊට පොඩි සහයෝගයක් දුන්නා. අන්තිමට පෝස්ට් එක දාන එකත් නැවතුනා. ඒ නිසා මට හිතුනා මේ දේව සංකල්පය ගැන පොඩ් කරුණු ටිකක් ගොණු කරන්න.

‍දේව කියන්නේ සංකාරයක්. ඒ කියන්නේ අපි වැඩිය යුතු දෙයක්. අපි තිරිසං සංකාර වඩනවා ඉතිං ගිහින් තිරිසං ලොකයේ ඉපදෙනවා. ඒ වගේමයි මේකත් අපි දේව සංකාර වඩනවා ඉතිං අපි දිව්‍ය ලෝක වල ගිහින් ඉපදෙනවා. මොනවද මේ දේව කියන්නේ. ඒක ගතියක්. මෙයා නම් දේව ගති තියෙන කෙනෙක් කියලා සමහරුන්ට කියන්නේ. අන්න ඒ ගතිය තමයි දේව ගතිය. යමෙක් දේව කියන ගතිය වඩන්නට ගත්තොත් ඒක තවත් ඒ වගේම දේව ගතිය වඩපු කෙනෙකුට ආකර්ෂනය වෙනවා. මේක ගති ආකර්ෂනය. ඉතිං අපි හිතමු තමන් දුක් මහන්සිවෙලා උපයා සපයා ගත්ත දෙයින් තවත් අසරණ කෙනෙකුට යමක් දෙන්නට හිතක් පහල වුනා කියලා. මේක දේව සිතක්. ඉතිං මේ සිතත් එක්ක අර ඒ වගේම ගතියක් නිසා දේව කියන අත්බැවක ඉපිද සිටින දෙවියන්ට මේ ගතිය පෙනෙනවා. ඉතිං මේ කෙනාත් එක්ක මේ දෙවිවරු හැකි සෑම වෙලාවකම සිටිනවා. මොකද එයා කරන්නෙත් දෙවියන් මේ ලෝකෙදී කරපු දේවල්මනේ. අපි කැමති දේකට තවත් කෙනෙක් කැමතිනම් ඒ කෙනා ගැන අපේ හිත තුල පොඩි ලෙංගතු කමක් ඇතිවෙන්නේ, අන්න ඒවගේ. මේ තමයි දෙවින්ගේ රැකවරණය. දෙවියන්ට කරන්නට බැරි ඒත් කරන්නට කැමති දෙයක් ඔබ කරනවා. ඉතිං ඔබට කරන්නට බැරි ඒත් දෙවියන්ට කල හැකි දෙයක් ඔබට කරලා දෙනවා. මම හිතන්නේ තේරුනා.

නමුත් අද කරන්නේ මොකක්ද? කරන්න තියෙන අධම වැඩ සියල්ලම කරලා දෙවියන්ට ගිහින් කන්නලව් කරනවා. කපුමහත්තයාට කීයක් හරි මිටමොලවලා. කපුවා අපිට වඩා අසරණයි. එයාට මොකක්හරි වුනාම කියන්න කෙනෙක්වත් නැහැ. මේ නිසා තමන්ගේ සිල්වත් බව හදාගෙන දේව ගති වඩන කෙනාට නම් දේවි පිහිට ලැබෙනවා මයි. ඒ දෙවියන් හින්දුද භෞද්ධද කියලා වෙනසක් නැහැ. අනික දෙවියන්ට ඕනි තැනකට වඩින්න පුලුවන්, ඒ තැනැත්තා ගේ හද දේව ආලයෙන් පිරිලා නම්. මෙන්න මේ දේව ආලය තමයි පසු කාලෙක දේවාලය වෙලා තියෙන්නේ. එහෙනම් දෙවියන් වැඩ ඉන්නට ඕනි තැන තමයි තමන්ගේ හදවත. එහෙනම් තමන් දේව ගති වඩලා තමන් දේව ආකර්ෂනය සහිත කෙනෙක් වෙන්නට හැකි වැඩපිලිවෙලක් පටන් ගන්න මුලින්ම.

අනික් කාරණය මේ බාර ගැටගහන එක. ඔබට මතකද ඔබ බාර කීයක් විතර ගැටගහලා තියෙනවාද කියලා. මතක නැහැ නේද? ඉතිං ඒ බාර වලින් ඇති වැඩේ මොකක්ද? ඔබ වංචාවක් නේ කරලා තියෙන්නේ. ඒකට මම නම් කියන්නේ තමන් දොලොස් පිරිකර සහිත සාංඝීක දානයක් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සිහිකරලා මහා සංඝරත්නය උදෙසා ඉදිරියේදී දානයක් දෙන බවත්. එම දානය දීලා මාගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේලා ඇතුලු සියලුම දේවි දේවතාවුන් වහන්සේලාටත් තමන් ගේ සංසාර ගත ඥාති වර්ගයාත් යම් දුගතියක සිටීනම් එම දුගතියෙන් මුදවාලීමට තමන් පින් පමුණුවන බවත් සිතා ගෙන කැටයක් පටන් ගන්න. මේ කැටය දින පතා කීයක් හරි දාල ටික ටික පුරවන්න. දෙවියන් මේ තමන් කරන සත්කාර්‍යයට අත හිත දේවි. මොකද ඔබේ ගතිය සහ දෙවියන්ගේ ගතිය සම වීම නිසා ගති ආකර්ෂණයක් ඇතිවීම නිසා.

ඔබත් මෙසේ කරලා බලන්න. බාර ගැට ගහනවාට වඩා මොනතරම් යහපත්ද? ලැබෙන සහනය කෙතරම්ද කියලා. ඉන් පසු තමන්ට හැකි දවසක අර දානය දීලා පින් පමුණුවලා තමන්ට මේ තාක් සිදු කර දුන් දේවල් වලට කෘතගුණ සැලකීමක් ලෙසට පලතුරු වට්ටියක් ගෙනගොස් තමන්ගේ සිතේ සිටින දෙවි කෙනෙකුට පූජා කරන්න. මට තවත් දේවල් ලබා දෙන්න කියන චේතනාවෙන් නෙවෙයි. දැනටමත් ඔබට ලැබිලා තියෙන දේවල් ගැන සිතා බලන්න. ඔබ කීපාරක් හදිස් අනතුරු වලින් බේරුනාද කියලා සිතා බලන්න. ඔබට පාඩුවෙන්න ගිය විට කීපාරක් ඔබ ඉන් බේරුනාද කියලා සිතා බලන්න. මේ විදිහට ධනාත්මකව සිතන්නට පුරුදු වෙන්න. ඔබ මේ පලතුරු වට්ටයත් සමග යම් මුදලක් පූජා කරනවා නම්, ඒ සල්ලි අසරණ මනුස්සයෙකුට දෙන්න. ඒ පිනත් අර දෙවියන්ට අනුමෝදන් කරන්න.

අපි සාමාන්‍යෙයන් කතරගම යනවා නම් මුලින්ම කිරිවෙහෙරට යනවා නේද? මම කිරිවෙහෙරට විතරක් ගිහින් ආපු වාර ගණන විසි පාරකට වැඩි ඇති. ඇයි මම කිරිවෙහෙරේ ඉදලම දෙවියන්ට පින් දීලා ආවේ. ආපහු අර පෝලිමේ ගිහින් පින් දෙන්න හෝ පලතුරු දෙන්න හෝ කපුවාට කියලා යාතිකා කරගන්න දෙයක් නැහැ.

අපේ සිත දේවාලයයි. තමන් තවත් කෙනෙකුට අවැඩක් අසාධාරනයක් වන දෙයක් කරන්නේ නැහැ කියන දැඩි අධීෂ්ඨානයේ සිටින්න. දෙවියන් ඔබ ලගට වඩිනවා. ඔබ දෙවියන් ලගට යන්නට අවශ්‍ය නැහැ.

ඔබගේ සිතත් දේවාලයක් කරගන්නට සිතුනා නම් ෂෙයා කරලා තවත් කෙනෙකුට මග සලසා දෙන්න.

මෙත් සිතිනි..!!

Close Menu