බත් පිඩක් අයින් කරලා කන සිරිත ගැන

ඉස්සර අපි බත් පිඟානක් බෙදා ගත්තම ඉන් පලමු කට අනා එලියෙන් තියෙන සිරිතක් තිබුනා. මේ ක්‍රියාව මම දන්නා ආකාරයට මෙහි පලකරන්නේ එය විශාල පිරිසකට සෙතක් වන නිසාය. මේ ලිපිය හුදෙක්ම භෞතික වාදීන් සඳහා නොවන බව පවසන්නේ ඉතාමත් කරුණාවෙනි. තම ලෙඩ රෝග සුව කර ගැනීමේ චේතනාව ඇතිව මෙම ගෘප් එක භාවිතා කරන පිරිස වෙනුවෙනි.
මෙම කතාව කරන්නට වෙන්නේ මා අදහන බුදුදහම පාදක කරගෙන වීම ගැන අන්‍ය ආගමික සහෘදයන් මා සමග අමනාප වෙන එකක් නැහැ කියලා මම හිතනවා.

මුලින්ම අපි බුදු දහමේ එන කරුණු කිහිපයක් සලකා බලමු. දවසක් ස්වාමීන් වහන්සේ නමක් අහනවා බදුපියානන් වහන්සේගෙන් තතාගතයන් වහන්ස දැන් අඹ වාරෙ. හැම තැනම අඹවැටිලා තියෙනවා. ඒත් විනය පනවලා ඇති නිසා බිම තියෙන දෙයක් අපිට අහුලාගෙන වලඳන්න බැහැ කියලා. එවිට බුදුන් වහන්සේ දේශනා කරනවා එසේ ඔබට සිතිවිල්ලක් එනවා නම් ඒ අඹය අහුලා ගන්න. කෙනෙක් හමුවන තුරු තමාගේ ගමණ යන්න. දැන් කෙනෙක් හමු වුනහම අර අඹය අරගෙන බිමට දාන්න. දාලා අර පුද්ගලයාට කියන්න මේ අඹය පූජා කරන්න කියලා. එය ඔබවහන්සේලාට ආහාරයට කැපයි.  දැන් අපි හිතලා බලන්න ඕනි ඇයි මේ බුදුන් වහන්සේ අයිතියක් ගැන කතා කරන්නේ කියලා. කෙනෙක් පූජා නොකල දෙයක් කැප නැහැ.

බිම වැටිලා තියෙන  පලතුරු කන්න එපා කියලා අපිට අම්මලා කියනවා. ඒ අය අපිට කිව්වේ විශබීජ නිසා කියලා. ඒත් ඒකෙ ඊට වැඩිය දෙයක් තියෙනවා. මා මෙම මාතෘකාව යටතේ කතා කරන්නට වෙර දරන්නේ ඒ කාරණාවයි.

බුද්ධ දේශනාවේ තියෙනවා පේතවත්ථුපකරණය කියලා පොතක්. එකේ තියෙන්නේ ප්‍රෙත ලෝකයේ දුක් විඳින සත්වයන් ගැන තියෙන කතා. ප්‍රේත ලෝකය කියන්නේ සතර අපායෙන් එක් කොටසක්. මෙතනට යන්නේ  ජීවත්ව සිටින කාලය තුල තමන්ගේ කියන ගොඩ තරකරගන්නට වෙර දරපු අය. එසේම අන් අයට වෛර කර කර සිටි අය. කෙසේ හෝ යම් අකුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස මෙසේ ප්‍රේත අතබැවක ඉපිද සිටිනවා. මොවුන්ගේ ආහාරය වන්නේ සෙම් සොටු මළ මුත්‍ර වගේ ඉවත ලන දේවල්. ඉවත ලනවා කියන්නේ අයිතියෙන් ඉවත් කරනවා කියන එකයි. කෙනෙකුට අයිති නැති දෙයක් තම පරිභෝජනයට ගන්නට මෙම සත්ව කොටසට පුලුවන්. අපි යම් දෙයක් අපගේ අයිතියෙන් මුදවාලයිද, එය තව කෙනෙකු සදහා නොවෙයිද, අන්න ඒ කොටස මෙම ප්‍රේත ලෝකයේ සිටන සත්වයන් හට ආහාරයට ගත හැකියි. මේ නිසා තමයි ප්‍රේතයන් වැසිකිලි වලවල් ලඟ, දිය කඩිති, මංසන්ධි වලට වෙලා ඉන්නේ, මොකද මේ තැන්වලට මිනිස්සු ඇවිත් විසි කරන ඒවා තියෙනවා. මහා දාහයකින් පෙලෙන මෙම සත්වයන් මොනවා හෝ ලැබෙන කම් ඉන්නවා කන්න. දෙයක්විසි කලාම එතනට දහස් ගාණක් ඇවිල්ලා ඒක කනවා.

දැන් හිතෙන්න පුලුවන් මේ පොඩ්ඩක් කොහොමද දහස් ගණනක් කන්නේ කියලා. ප්‍රේත ලෝකයේ සිටින අය කෑමට ගන්නේ තමාට ලැබෙන දේ මවලා. සියළුම සත්වයන්ට මේ ඍධිය තිබුනත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. සමහර ගෙවල් වල බත් ඉව්වහම හතර දෙනෙක් කෑවහම බත් ටික ඉවරයි. සමහර ගෙවල් වල දහ දෙනෙක් කැවත් තවත් ඉතිරුයි. මේක මම හිතන්නේ කල්පනා කරලා බැළුවොත් තේරෙයි. ඒ පුණ්‍ය ඍධි. මේ ක්‍රමයට තමයි දිව්‍ය සහ ප්‍රේත කොටස් තම ආහාර සපයා ගන්නේ. අපි මේකට කියන්නේ ගන්ධය තමයි ආහාරය කරගන්නේ කියලා, ඇත්තටම වෙන්නේ තමාට ලැබෙන දෙය මැවිලා එන ක්‍රියා වලියක්. මේක ටිකක් තේරුම් ගනන අමාරුයි. හැබැයි යම් යම් දේවල් සිදු කල පසු ඉන් ලැබෙන ප්‍රතිඵලය මගින් තේරුම් ගන්නට පුලුවන්. මේ ලිපිය කියවලා බලලා ඒ අනුව ගේදර වැඩකටයුතු කර බලන්න. ගෙදරට කෙතරම් එලියක්  එනවාද? කරදර කෙතරම් දුරුවෙනවාද? ලෙඩදුක් කෙතරම් අඩුවෙනවාද? කියලා.

අපි කන දෙයක් මුලින්ම කුඩා කොටසක් හෝ පැත්තකට ඉවත් කලාම එය අර කියපු ප්‍රේත ලෝකයේ සිටින අයට කැපයි. අපි ඒක බත් පිඟාන පැත්තකින් තියා ගත්තම එයාලට එන්න බැහැ. සමහරුන්ට ගේ ඇතුලට එන්න තහනම්. ඉතින් එයාලා එලියේ ඉඳලා සුසුම් හෙලනවා. හොඳම දේ තමයි තමන් දෙන දෙයක් එලියෙන් තියන එක. දෙන ප්‍රමාණය ගැන වද වෙන්න එපා. බත් ඇටයක් වුනත් මොවුන්ට එය මහ මෙරක්.

අපි ගෙදර උයන  ආහාරයේ අග්‍ර භාගය බුදුපියානන් වහන්සේට පූජා කරනවා. දානයක් දෙන අවස්ථාවකදී නම් දෙවන කොටස සංඝයා වහන්සේට පූජා කරනවා. සංඝයා වහන්සේද තමන්ට ලැබුණු කොටසින් පලමු කොටස වෙනම පිඟානකට අයින් කරනවා. ඒ කරන්නේ තමාගේ අයිතියෙන් ඉවත් කරන එක. ප්‍රත්‍යවේක්ෂාව වෙනම කාරනයක්. ඒක මේකට අදාල නැහැ. එය අපි වෙන දවසක අවශ්‍ය නම් කතා කරමු. එයද නිරෝගී කමට බෙහෙවින් බලපානවා.

සාමාන්‍යයෙන් බුද්ධ පූජාව පිළුණු වෙන්නේ නැහැ. සමහර ගෙවල් වල බත් මුට්ටිය දවස් දෙකක් තිබුනත් පිලුණු වෙන්නේ නැහැ. ඒත් සමහර ගෙවල් වල උදේ උයන එක දවල්ට කන්න බැහැ. මොකද මේ පිළුණු වෙන්නේ. මේක භෞතික වාදීන්ට නම් විහිළුවක් වගේ වෙයි. ඒත් කිහිප දෙනෙක් හෝ පිලිගන්නවා නම් එය මට ඒ ඇති. අපි ගෙදරක උයන මුල් කොටස බුදුන් වහන්සේට පිළි ගැන්වූ පසු මෙම ප්‍රේත කොටස් බලනවා හැකි තරම් ගෙදරින් බැහැරව සිටින්නට. දෙවැනුව ගෙදර අය බෙදාගෙන ඉන් කොටසක් එළියට තිබ්හම ඒක අර ප්‍රේත කොටස් වලට කැපයි. ඉතින් ඒ කට්ටිය හරිම සතුටින් ඒ ආහාර මව මවා ආහාරයට ගන්නවා. නිවස තුලට ඇවිල්ලා බත්මුට්ටියට අත දාලා කන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි මෙහෙම බුද්ධ පූජාව තියලා දන් දීලා කන පුරුද්ද ඇති අයට දේවතාවන් උදව් කරනවා. ඔවුන් අර බත් මුට්ටිය හිස් වෙන්න දෙන්නෙ නැහැ. ඒක නම් ටිකක් හිතන්න අමාරුයි නේද? නමුත් මේ සංසිද්ධිය අත් විඳ ඇති අය මේ ගෘප් එකේ ඉන්නවා ඇති. ඔවුන් මේක දන්නවා.

දැන් තමයි අත්‍යවශ්‍යම කොටස. අපිට සංසාරය පුරාවට මේ වගේ අය දන් දීලා අපි ඒවා භුක්ති විඳලා ඇත්ද? අපිට ඒ වගේ දන් දීපු අයත් අද මේ ප්‍රේත ලෝක වල ඉන්න පුුලුවන්. ඒ අපේ අම්මා තාත්තා නංගී මල්ලි බිරිඳ ස්වාමියා වෙන්න පුලුවන්. ඔවුන් ඔබ සමග ඇති සම්බන්ධය නිසා බොහෝ විට ඔබ අවටම ගැවසෙනවා වෙන්න පුලුවන්. ඉතින් ඔබට යුතු කමක් තියෙනවා නේද ඔවුන් වෙනුවෙන් කෑම ටිකක් වෙන් කරලා තබන්න. අන්න ඒක තමයි එදා බුදුන් වහන්සේ දානයක් ගැන දේශනා කරලා තියෙන්නේ. දං දෙන්න නම් තමාට දීපු කෙනෙක් ම විය යුතුයි. එහෙනම් දානයක් කියන්නේ ණය බේරීමක් මයි. එය මම මෙසේ කතාවකින් පහදා දෙන්නම්. මේක බොහෝ අය දන්නවා බාගෙට.
දවසක් බුදුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. එක අම්මා කෙනෙක් බුදුන් වහන්සේගේ පාත්‍රයට ආහාර ටිකක් බෙදනවා. උන්වහන්සේ ඒ ආහාරද රැගෙන ඉදිරියට වඩිනවා. ටික වේලාවකින් මේ ස්ථානයෙන් මහාකාශ්‍යප මහරහතන්වහන්සේ වඩිනවා. උන්වහන්සේ දුටු අර මව බුදුන් වහන්සේ පසුපස දිව ගොස් අර පාත්‍රයට බෙදූ  දානය නැවත අරගන්නවා. අරන් ඇවිත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පූජා කරනවා. අර මවමහාකාශයප මහ රහතන් වහන්සේට තමයි දානය පූජා කරන්න ඉඳලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ රූපයට සමාන රූපයක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබිලා තියෙනවා. ඒකයි අර අම්මට වැරදුනේ. මෙය  සිදුවීමට හේතුව කුමක් දැයි බුදුන් වහන්සේ තම ණුවන මෙහයවා බලනවා. උන්වහන්සේ දකිනවා තමන් වහන්සේ සංසාරයේ කිසිම දවසක මේ ස්ත්‍රියට දෙයක් දීලා නැති බව. දැන් තේරෙනවාද? තමන් කෙනෙකුට දෙයක් දීලා නැතිනම් එය ලබන්නට හැකියාවක් නැහැ බුදුන් වහන්සේටවත්. අපිට කෙනෙක්දී පු දෙයක් මයි අපි නැවත දෙන්නේ. ඉතින් දානයක් කියන්නේ තමන්ගේ ණය බේරා ගන්නට ඇති අවස්ථාවක්. අන්න ඒවගේ අවස්ථාවක් අපිට දිනකට කිහිප වාරයක් උදාවෙනවා. ඒත් මේක දන්නේ නැති නිසා අපිට ඒක මග හැරෙනවා.

දැන් එනවා තවත් ගැටළුවක්. කොහෙවත් ඉන්න ප්‍රේතයන් ගෙදරට ගෙන්ව ගන්නේ ඇයි කියලා. මේ අය අපිට දකින්නට බැරි කමයි ඇත්තේ. බුදුන් වහන්සේ දේශනා කරනවා අපි අතක් ඔසවලා බිමට හෙලන වාරයක් වාරයක් පාසා මෙවැනි අය දහස් ගාණක් බිම ඇද වැටෙනවා කියලා. මේ ප්‍රේත ලෝකය එතරම් විශාලයි. අපිට පේන්නේ නැති එක විතරයි වෙනස. මේක දිකින කෙනෙක් ඒගැන මෙහි පල කරනවා නම් හොදයි කියලා මට හිතෙනවා. ඒත් ඒක විහිළුවක් වෙයි කියලා පේන අයත් නොකියා ඉන්නට පුලුවන්. තමන්ට දැනෙන ප්‍රමානයට තේරුම් ගන්න. ඒ ඇති. දැන් මේ ප්‍රේතයන් පිටතින් පැමිණියහොත් ආයෙන යන එකක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. අපි මැරෙන මොහොතේ චුති සිත තමයි අපි ඉපදෙන තැන තීරණය කරන්නේ. අපි ගෙදර අල්මාරිය හෝ පෙට්ටගම අල්ලගෙන නම් මැරුනේ ඉතින් ඒක ඇතුලේ ඉපදෙනවා. ඒක තමයි ධර්මතාවය. අර වගේ තමාගේ ඥාතියෙක් දෙයක් දුන්නොත් සැතපුම් ලක්ෂ ගාණක් වුවත් දුර ගෙවාගෙන එන්නට ඔවුන්නට පුලුවන්. හැබැයි කාල ඉවර වූ ගමන්ම අර අල්ලගත්ත තැනට යන්න ඕනි.ඒකයි ස්වභාවය.

මෙසේ තම ආහාරයෙන් කොටසක් ඇසට නොපෙනන අයට දීලා කන්නට පුරුදු වෙනවිට තමන්ට මෙවැනි ප්‍රේත ආත්ම වලින් එන තාඩන පීඩන අඩු වෙනවා. මේ නිසා ලෙඩ රෝග සුව වෙන්නට එය හේතු වෙනවා. කෙනෙක් කන වෙලාවට කවුරු හරි බලාගෙන ඉඳලා කෙල ගිල්ලොත් බඩ රිදෙනවා කියලා කියනවා නේද? ඒකත් මේ වගේ තමයි. කෙළ ගිලින කෙනාගේ ශරීරය අර ප්‍රේතයන්  භාවිතා කරනවා. ඉතින් අර කණ කෙනා ටිකක් ඉවත් කලේ නැතිනම් අර ආහාර ටික බඩට යනකම් අර ප්‍රේතයන් ආශාවෙන් බලා සිටිනවා. මේ ශක්තිය නිසා අර ආහාර නිසිලෙස ජිරණය කරගන්ට බැහැ.  ඔබ කල යුතු වන්නේ තම දරුවාගේ හෝ වේවා තමාගේ හෝ වේවා කන්නට ගත් ආහාර යෙන් ස්වල්පයක් මේ අය වෙනුවෙන් මුලින්ම වෙන් කිරීම පමණයි. සියලු ප්‍රශ්න එතනින් අවසානයි.

මේ කාරණා තේරෙනවානම් අද සිටම මෙම ක්‍රියාව ඔබගේ දෛනික ක්‍රියාවලියට එක් කර ගන්න.

මෙත් සිතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *